පොත් ලැයිස්තුව

චේතනා කරණීය සුත්තං

star_outline

අංගුත්තර නිකාය

​දසක නිපාතෝ

​(සාවත්ථිනිදානං)

​සැවැත් නුවරදී ය...

සීලවතෝ භික්ඛවේ සීලසම්පන්නස්ස න චේතනාය කරණීයං “අවිප්පටිසාරෝ මේ උප්පජ්ජතූ”ති. ධම්මතා ඒසා භික්ඛවේ යං සීලවතෝ සීලසම්පන්නස්ස අවිප්පටිසාරෝ උප්පජ්ජති. අවිප්පටිසාරිස්ස භික්ඛවේ න චේතනාය කරණීයං “පාමොජ්ජං උප්පජ්ජතූ”ති. ධම්මතා ඒසා භික්ඛවේ යං අවිප්පටිසාරිස්ස පාමොජ්ජං උප්පජ්ජති. පමුදිතස්ස භික්ඛවේ න චේතනාය කරණීයං “පීති මේ උප්පජ්ජතූ”ති. ධම්මතා ඒසා භික්ඛවේ යං පමුදිතස්ස පීති උප්පජ්ජති. පීතිමනස්ස භික්ඛවේ න චේතනාය කරණීයං ‘කායෝ මේ පස්සම්භතූ’ති. ධම්මතා ඒසා භික්ඛවේ යං පීතිමනස්ස කායෝ පස්සම්භති. පස්සද්ධකායස්ස භික්ඛවේ න චේතනාය කරණීයං ‘සුඛං වේදියාමී’ති. ධම්මතා ඒසා භික්ඛවේ යං පස්සද්ධකායෝ සුඛං වේදියති. සුඛිනෝ භික්ඛවේ න චේතනාය කරණීයං ‘චිත්තං මේ සමාධියතූ’ති. ධම්මතා ඒසා භික්ඛවේ යං සුඛිනෝ චිත්තං සමාධියති. සමාහිතස්ස භික්ඛවේ න චේතනාය කරණීයං ‘යථාභූතං ජානාමි පස්සාමී’ති. ධම්මතා ඒසා භික්ඛවේ යං සමාහිතෝ යථාභූතං ජානාති පස්සති. යථාභූතං භික්ඛවේ ජානතෝ පස්සතෝ න චේතනාය කරණීයං ‘නිබ්බින්දාමි විරජ්ජාමී’ති. ධම්මතා ඒසා භික්ඛවේ යං යථාභූතං ජානං පස්සං නිබ්බින්දති විරජ්ජති. නිබ්බින්දස්ස භික්ඛවේ විරජ්ජන්තස්ස න චේතනාය කරණීයං ‘විමුත්තිඤාණදස්සනං සච්ඡිකරෝමී’ති. ධම්මතා ඒසා භික්ඛවේ යං නිබ්බිණ්ණෝ විරත්තෝ විමුත්තිඤාණදස්සනං සච්ඡිකරෝති.

​සිංහල පරිවර්තනය:

​මහණෙනි, සීලයෙන් යුක්ත වූ, සිල්වත් තැනැත්තාට "මට පසුතැවීම උපදීවා" යි සිතින් අදිටන් කිරීමක් කළ යුතු නැත. මහණෙනි, යම් හේතුවකින් සීලයෙන් යුක්ත වූ, සිල්වත් තැනැත්තා හට පසු නොතැවීම උපදින්නේය යන මේ කරුණ ධර්මතාවයකි.

​පසු නොතැවෙන තැනැත්තාහට "මට ප්‍රමෝදය උපදීවා" යි සිතින් අදිටන් කිරීමක් අවශ්‍ය නැත. මහණෙනි, පසු නොතැවෙන තැනැත්තා හට ප්‍රමෝදය උපදින්නේය යනු ධර්මතාවයකි.

​ප්‍රමෝදයෙන් යුක්ත තැනැත්තාහට "මට ප්‍රීතිය උපදීවා" කියා සිතින් අදිටන් කිරීමක් අවශ්‍ය නැත. මහණෙනි, ප්‍රමෝදයෙන් යුක්ත තැනැත්තාට ප්‍රීතිය උපදින්නේය යනු ධර්මතාවයකි.

​ප්‍රීතියෙන් යුක්ත තැනැත්තාට "මට පස්සද්ධිය හෙවත් සැහැල්ලු බව උපදීවා!" යනුවෙන් අදිටන් කිරීමක් අවශ්‍ය නැත. ප්‍රීතියෙන් යුක්ත තැනැත්තාට පස්සද්ධිය හෙවත් සැහැල්ලු බව උපදින්නේය යනු මේ කරුණ ධර්මතාවයකි.

​පස්සද්ධියෙන් යුක්ත තැනැත්තා හට "මට සැපය උපදීවා" යනුවෙන් සිතින් අධිෂ්ඨාන කිරීමක් අවශ්‍ය නැත. පස්සද්ධිය ඇති තැනැත්තාට සැපය උපදින්නේය යන කරුණ ධර්මතාවයකි.

​සැපය ඇති තැනැත්තාට "මාගේ සිත සමාධිගත වේවා" යනුවෙන් සිතින් අධිෂ්ඨාන කිරීමක් නැත. සැපය ඇති තැනැත්තාගේ සිත සමාධිගත වන්නේය යන මේ කරුණ ධර්මතාවයකි.

​සමාධිගත තැනැත්තාට "මම යථාර්ථය දැන ගන්නෙමි, දැක ගන්නෙමි" කියා සිතින් අදිටන් කිරීමක් නැත. සමාධිගත තැනැත්තා යථාර්ථය දැනගන්නේය, දැකගන්නේය යන මේ කරුණ ධර්මතාවයකි.

​යථාභූත ඥානය ලැබූ තැනැත්තාට "මම කලකිරීමට පත් වන්නෙමි, නොඇලීමට පත්වන්නෙමි" යනුවෙන් සිතින් අදිටන් කිරීමක් නැත. යථාර්ථය දැනගත් තැනැත්තා කලකිරෙන්නේය, නොඇලෙන්නේය යන මෙය ධර්මතාවයකි.

​කලකිරීම, නොඇලීම ඇති තැනැත්තාට "මම විමුක්ති ඥාන දර්ශනය අවබෝධ කරගනිමී" යැයි සිතින් අදිටන් කිරීමක් නැත. මහණෙනි, නිබ්බිධා විරාග වූ තැනැත්තා විමුක්ති ඥාන දර්ශනය අවබෝධ කරන්නේය යනු මේ කරුණ ධර්මතාවයකි.

චේතනා කරණීය සූත්‍රයෙහි අවසාන කොටස.

ඉති ඛෝ භික්ඛවේ නිබ්බිදාවිරාගෝ විමුත්තිඤාණදස්සනත්ථෝ විමුත්තිඤාණදස්සනානිසංසෝ. යථාභූතඤාණදස්සනං නිබ්බිදා විරාගත්ථං නිබ්බිදා විරාගානිසංසං. සමාධි යථාභූතඤාණදස්සනත්ථෝ යථාභූතඤාණදස්සනානිසංසෝ. සුඛං සමාධත්ථං සමාධානිසංසං. පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා. පීති පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා. පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං. අවිප්පටිසාරෝ පාමොජ්ජත්ථෝ පාමොජ්ජානිසංසෝ. කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි.

​ඉති ඛෝ භික්ඛවේ ධම්මා ධම්මේ අභිසන්දෙන්ති, ධම්මා ධම්මේ පරිපූරෙන්ති අපාරාපාරං ගමනායාති.

​සිංහල පරිවර්තනය

​මහණෙනි, මෙසේ කලකිරීම සහ නොඇලීම විමුක්ති ඥාන දර්ශනය අර්ථ කොට ඇත්තේය; විමුක්ති ඥාන දර්ශනය ආනිසංස කොට ඇත්තේය.

​යථාභූත ඥාන දර්ශනය නිබ්බිදා විරාගය අර්ථ කොට ඇත්තේය; නිබ්බිදා විරාගය ආනිසංස කොට ඇත්තේය. සමාධිය යථාභූත ඥාන දර්ශනය අර්ථ කොට ඇත්තේය; යථාභූත ඥාන දර්ශනය ආනිසංස කොට ඇත්තේය. සැපය සමාධිය අර්ථ කොට ඇත්තේය; සමාධිය ආනිසංස කොට ඇත්තේය. පස්සද්ධිය හෙවත් සැහැල්ලු බව සැපය අර්ථ කොට ඇත්තේය; සැපය ආනිසංස කොට ඇත්තේය. ප්‍රීතිය සැහැල්ලු බව අර්ථ කොට ඇත්තේය; සැහැල්ලු බව ආනිසංස කොට ඇත්තේය. ප්‍රමෝදය හෙවත් ප්‍රමුදිත බව ප්‍රීතිය අර්ථ කොට ඇත්තේය; ප්‍රීතිය ආනිසංස කොට ඇත්තේය. පසු නොතැවීම ප්‍රමෝදය අර්ථ කොට ඇත්තේය; ප්‍රමෝදය ආනිසංස කොට ඇත්තේය. කුසල සීලයෝ පසු නොතැවීම අර්ථ කොට ඇත්තෝය; පසු නොතැවීම ආනිසංස කොට ඇත්තෝය.

​මහණෙනි, මෙසේ ධර්මයෝ සසර නම් වූ මෙතෙරින් නිවන නම් වූ පරතෙරට යාම පිණිස (එකිනෙක හේතු වෙමින්) අන්‍ය ධර්මයන් පුරවන්නාහ, පිරවීමට පැමිණෙන්නාහ.

ධර්මාර්ථ විවරණය

​මෙතෙරින් එතෙරට යන ධර්ම මාර්ගය මෙම දේශනාව තුළ ඉතා මැනවින් ප්‍රකාශිතය. පංචසීල, අටසිල්, දස සීල, සාමණේර සීල, උපසම්පදා සීල ආදී සීල සම්පත්තියන්හි පිහිටියා වූ තැනැත්තාට "මම දුස්සීලයෙක්ය, පව්කාරයෙක්ය, අකුසලයෙහි යෙදුණු කෙනෙක්ය" යනුවෙන් පසුතැවීමක් නැත. යම් දවසක සීලය තුළ පිහිටියේ නම්, එදා සිට පිළිවෙළින් තමාගේ ජීවිතය ගැන සිතමින් සතුටට පත්විය හැකිය. එය සිතෙහි ඇති පසුතැවීම නැතිවීමට හෙවත් අවිපටිසාරයට හේතු වන්නේය.

අතීතයෙහි ද සම්බුද්ධ ශ්‍රාවකයෝ සීලය සිහිකොට මහත් වූ සැනසීමක් ලැබූහ.

​තම සීලය සිහිකොට අරිහත්වය දක්වා සිත දියුණු කරන ලද අම්බකාදක තිස්ස තෙරුන්ගේ කතාව සිහල වස්තුවෙහි එන ආකාරයෙන්ම ඉන් උපුටා දක්වනු ලැබෙයි.

​බ්‍රාහ්මණතීයභය (පැරණි සාගත කාලයකි. ) පවත්නා කල්හි එක් භික්‍ෂු නමක් සාගින්නෙන් පෙළී ඇවිදිනේ අඹ ගසක් වෙත පැමිණියේය. ඒ ගසේ ඉදුණු ගෙඩි බිම වැටී තිබුණ නමුත් පිළිගන්වන කැපකරුවකු නැති බැවින් එතුමා ඒවා නොවැළඳීය. එක් මිනිසෙක් එහි අවුත් අඹ අහුලන්ට පටන් ගති. තෙරනම ඔහුගෙන් අඹ ගෙඩියක් ඉල්විය. ඒ මිනිසා ඔබ විසින් මෙය රැගෙන අනුභව කරන්නට බැරි කමක් තිබේද? අදත් කැපකරුවන් සොයන්නෙහිද? මෙවැනි දුර්භික්ෂ කාලයකදී තමාගේ ජීවිතය රැකගත යුතුය. ශීලයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැ”යි අසා අඹ ගෙඩියක් නොදීම ගියේය. ඒ කර්කශ පුරුෂයා ගෙදර ගොස් අඹු දරුවන් සමඟ අඹ කමින් මේ ප්‍ර‍වෘත්තිය කීය. ඔහුගේ භාර්යාව ඒ කීම අසා ඔහුට නින්දා කොට “අහෝ අනාර්ය, පවිටු දෘෂ්ටි ඇත්ත, මෙවැනි භික්‍ෂු නමක් හැර දැමූ ඔබ හා මාගේ එක්ව විසීමක් නැතැ”යි කියා ගෙයින් නික්ම ගියාය.

​එකල එක්තරා ශ්‍ර‍ද්ධාවත් සිල්වත් මිනිසෙක් ඒ අඹ ගස අසළට ආවේය. තෙරනම කෑරීමෙන් ශබ්ද කොට ඒ මිනිසා තමන් වෙත පෙන්වා ගත්තේය. හෙතෙම තෙරුන්ගේ පාත්‍ර‍ය ගෙන අඹ පානයක් සාදා තෙරුන්ට පිළිගැන් විය. තෙරනම නැගිටින්ටත් අසමර්ථ විය. එවිට උපාසකයා තෙරුන් කෙළින් කරවා තමාගේ ළයෙහි හොවාගෙන ඒ අඹ පානය පොවා ඉන්පසු තරමක් සුවපත් වූ ඒ තෙරුන් තමාගේ පිට මත්තේ හොවා ගෙන ගියේය. තෙරනම ඔහුගේ පිට මත්තෙහිදීම සංවේග උපදවාගෙන විදසුන් වඩා රහත් විය. උපාසකයා ද තෙරුන් රහත් වූ බව දැන ජීවිතාන්තය දක්වා තෙරුන්ට උපස්ථාන කළේය.

ආනන්ද තෙරුන් වහන්සේ සීලය කුමක් සඳහා තිබේදැයි විමසති. එවිට තථාගතයන් වහන්සේ සීලය තිබෙන්නේ පසු නොතැවීම පිණිස බව දේශනා කළහ. ඉන්පසු අනුපිළිවෙළින්,

​පසු නොතැවීම ප්‍රමෝදයටත්, ප්‍රමෝදය ප්‍රීතියටත්, ප්‍රීතිය පස්සද්ධියටත්, පස්සද්ධිය සැපයටත්, සැපය සමාධියටත්, සමාධිය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී යථාර්ථය දකින යථාභූත ඥානය පිණිසත්, යථාභූත ඥාන දර්ශනය කලකිරීම සහ නොඇලීම පිණිසත්, කලකිරීම සහ නොඇලීම විමුක්ති ඥාන දර්ශනය පිණිසත් උපකාර වන ආකාරය ඉතා මැනවින් සඳහන් කරයි.