පොත් ලැයිස්තුව

චවන සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය පංචක නිපාතය

​පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මේ. කතමෙහි පඤ්චහි:

​මහණෙනි, ධර්මතා පහකින් යුක්ත වූ භික්ෂුව ගුණයෙන් චුත වෙයි, සද්ධර්මය තුළ නොපිහිටයි. කවර පහකින් ද යත්:

අස්සද්ධෝ භික්ඛවේ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මේ. අහිරිකෝ භික්ඛවේ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මේ. අනොත්තප්පී භික්ඛවේ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මේ. කුසීතෝ භික්ඛවේ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මේ. දුප්පඤ්ඤෝ භික්ඛවේ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මේ.

​මහණෙනි, සද්ධාව නැති තැනැත්තා ශාසන ගුණ ධර්මයෙන් චුත වෙයි, ශාසන සද්ධර්මයෙහි පිහිටා නොසිටියි. පව් කිරීමට ලැජ්ජාව නැති තැනැත්තා ශාසන ගුණ ධර්මයෙන් චුත වෙයි, ශාසන සද්ධර්මය තුළ පිහිටා නොසිටියි. පව් කිරීමට බය නැති තැනැත්තා ශාසන ගුණ ධර්මයෙන් චුත වෙයි, ශාසන සද්ධර්මය තුළ පිහිටා නො සිටියි. කුසීත බව ඇති තැනැත්තා ශාසන ගුණ ධර්මයෙන් චුත වෙයි, ශාසන සද්ධර්මය තුළ පිහිටා නොසිටියි. ප්‍රඥාව නැති තැනැත්තා ශාසන ගුණ ධර්මයෙන් චුත වෙයි, ශාසන සද්ධර්මය තුළ පිහිටා නොසිටියි.

කෙටි සටහන.

​මෙම දේශනාවට අනුවද, අසද්ධා ආදී පාපක ධර්මයන්ගේ තිබෙන දරුණු බව ඉතා හොඳින් තේරුම් ගත යුතුය. සද්ධර්මය යනු සාසන සද්ධර්මයයි. ඒ බව අට්ඨකථාවෙහි සඳහන්ය. ("සද්ධම්මේති සාසන සද්ධම්මේ" - අංගුත්තර පංචක නිපාත අටුවාව) චවති යනු සාසනයෙහි ගුණයෙන්ම චුතවීමයි. න පතිට්ඨාති යනු සාසනික සද්ධර්මය තුළ පිහිටා නොසිටීමයි.

​සාසනික සද්ධර්මය තුළ හෙවත් සාසනික ගුණධර්ම තුළ පිහිටා සිටීමට නම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච සේඛ බල ධර්මයන් තමා තුළ තිබිය යුතුය.

සූත්‍රයේ අවසාන කොටස.

ඉමේහි ඛෝ භික්ඛවේ පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු චවති, නප්පතිට්ඨාති සද්ධම්මේ.

​මහණෙනි, මෙම ධර්මතා පහෙන් යුක්ත වූ භික්ෂුව සාසනික ගුණධර්මයන්ගෙන් චුත වෙයි, සාසනික සද්ධර්මයෙහි නොපිහිටයි.

​පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මේ. කතමෙහි පඤ්චහි:

​මහණෙනි, ධර්මතා පහකින් යුක්ත වූ භික්ෂුව ගුණධර්මයන්ගෙන් චුත නොවෙයි, සද්ධර්මයෙහි පිහිටයි. කවර පහකින් ද යත්:

සද්ධෝ භික්ඛවේ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මේ. හිරිමා භික්ඛවේ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මේ. ඔත්තප්පී භික්ඛවේ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මේ. ආරද්ධවිරියෝ භික්ඛවේ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මේ. පඤ්ඤවා භික්ඛවේ භික්ඛු න චවති, පතිට්ඨාති සද්ධම්මේ.

​මහණෙනි, ශ්‍රද්ධාව ඇති භික්ෂුව චුත නොවෙයි, සද්ධර්මයෙහි පිහිටයි. මහණෙනි, පවට ලැජ්ජාව ඇති භික්ෂුව චුත නොවෙයි, සද්ධර්මයෙහි පිහිටයි. මහණෙනි, පවට බය ඇති භික්ෂුව චුත නොවෙයි, සද්ධර්මයෙහි පිහිටයි. මහණෙනි, අරඹන ලද වීර්යය ඇති භික්ෂුව චුත නොවෙයි, සද්ධර්මයෙහි පිහිටයි. මහණෙනි, ප්‍රඥාව ඇති භික්ෂුව චුත නොවෙයි, සද්ධර්මයෙහි පිහිටයි.

ඉමේහි ඛෝ භික්ඛවේ පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛූ න චවති, පතිට්ඨාති සද්ධම්මේති.

​මහණෙනි, මේ පංච ධර්මයන්ගෙන් යුක්ත වූ භික්ෂුව ගුණධර්මයන්ගෙන් චුත නොවේ, සද්ධර්මයෙහි පිහිටයි.