අංගුත්තර නිකාය චතුක්ක නිපාතෝ
මහණෙනි, මේ ප්‍රතිපදා හතරකි. එම හතර කවරේද:
1. අක්ඛමා පටිපදා - නොඉවසීමේ ප්‍රතිපදාව
2. ඛමා පටිපදා - ඉවසීමේ ප්‍රතිපදාව
3. දමා පටිපදා - ඉන්ද්‍රිය දමනය කිරීමේ ප්‍රතිපදාව
4. සමා පටිපදා - අකුසල විතර්ක සංසිඳවීමේ ප්‍රතිපදාව
කතමා ච භික්ඛවේ අක්ඛමා පටිපදා? ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ අක්කෝසන්තං පච්චක්කෝසති, රෝසන්තං පටිරෝසති, භණ්ඩන්තං පටිභණ්ඩති. අයං වුච්චති භික්ඛවේ අක්ඛමා පටිපදා.
මහණෙනි, අක්ඛමා හෙවත් නොඉවසීමේ ප්‍රතිපදාව යනු කුමක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙක් ආක්‍රෝස කරන තැනැත්තාට පෙරළා ආක්‍රෝස කරයි, ගැටෙන තැනැත්තා සමඟ පෙරළා ගැටෙයි, පහර දෙන තැනැත්තාට පෙරළා පහර දෙයි. මහණෙනි, මෙය නොඉවසීමේ ප්‍රතිපදාවයි.
කතමා ච භික්ඛවේ ඛමා පටිපදා? ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ අක්කෝසන්තං න පච්චක්කෝසති, රෝසන්තං න පටිරෝසති, භණ්ඩන්තං න පටිභණ්ඩති. අයං වුච්චති භික්ඛවේ ඛමා පටිපදා.
මහණෙනි, ඉවසීමේ ප්‍රතිපදාව කවරේද? මේ ශාසනයෙහි සමහර පුද්ගලයෝ ආක්‍රෝස කරන කෙනාට පෙරළා ආක්‍රෝස නොකරයි, ගැටෙන කෙනා සමඟ පෙරළා නොගැටෙයි, පහර දෙන තැනැත්තාට පෙරළා පහර නොදෙයි. මහණෙනි, මෙය ඉවසීමේ ප්‍රතිපදාවයි.
ධර්මාර්ථ විවරණය
"ඛන්ති පරමං තපෝ තිතික්කා..." - ඉවසීම උතුම්ම තපසයි. "ඛන්ත්‍යා භිය්යෝ නොවිජ්ඣති..." - ඉවසීමට වඩා උතුම් දෙයක් නැත. "ඛන්ති බලං බලානීකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං..." - ඉවසීම නම් වූ බල ඇණිය ඇති තැනැත්තා බ්‍රාහ්මණයෙක් යැයි මම කියමි. ධම්මපදයේ සඳහන් වන මෙම පාඨයන් සියලු සැදැහැති ශ්‍රාවකයන් විසින් පාඩම් කරගෙන නිතර නිතර සිහිකිරීම වටී. ඒ හැම පාඨයකින්ම ඔබටත් මටත් ඉවසීමේ වටිනාකම මනාකොට කියාදෙයි.
"අසවල් තැනැත්තා මට බැන්නේය, මට ගැසුවේය, මා පරාජයට පත් කළේය, මගේ ධනය පැහැරගත්තේය" කියා නිතර නිතර වෛර බඳින තැනැත්තා කිසි දවසක වෛරයෙන් මිදෙන්නේ නැත. "අක්කෝච්චි මං අවධි මං, අජිනි මං අහාසි මේ..." යන ගාථාවෙන් ඒ බව දේශනා කොට ඇත. ඉවසීම ඉතා උතුම් වූ ගුණයකි. මහ බෝසතාණන් වහන්සේලා ඉවසීම පාරමිතාවක් ලෙස පුරුදු පුහුණු කළහ. ශාන්තිවාදී තාපසතුමා තමාගේ අත්දෙක, පාදදෙක, කන්දෙක, නාසිකාව කැපූ රජතුමාටද "රජතුමා බොහෝ කල් ජීවත් වේවා!" යනුවෙන් මෛත්‍රිය පැතිරූහ. ඒ ඉවසීම ආශ්චර්යවත් ජනකය. බෞද්ධයන් වන අපි ආදර්ශයට ගත යුත්තේ ශාන්තිවාදී තාපසතුමාගේ ඒ අග්‍ර වූ ඉවසීමයි.
වනවාසීව වැඩ සිටි එක්තරා භික්ෂුවකට රාත්‍රී කාලයේදී උදරාබාධයක් හැදුණි. එම භික්ෂුව වෙනත් භික්ෂුවකට ඒ බව දන්වා සිටියහ. එවිට එම භික්ෂුව මෙසේ ප්‍රකාශ කළහ: "ඇවැත්නි, වේදනාවක් නම් ඉවසිය යුතුයි නේද?" "එහෙමයි ස්වාමීනී" යනුවෙන් පවසා එම භික්ෂුව ඉවසීම ආරම්භ කළහ. වේදනාව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මනසිකාර කළහ. ටික වේලාවක් යන විට උදරාබාධය ඉතා ප්‍රබල වී බඩ පැලීමට ලක්විය. එයත් සමඟම එම භික්ෂුව අරහත්වයද ලැබූහ. එම භික්ෂුව අනික් භික්ෂුවට කතාකොට "ඇවැත්නි, ඇවැත්නි, මෙහේ එන්න, මාගේ බඩ දෙස බලන්න, දැන් මම ඉවසුවා ප්‍රමාණවත්ද?" යැයි විමසා සිටියහ. අතීතයේ වැඩ සිටි සම්බුද්ධ ශ්‍රාවකයෝ ඉවසීම ඉතා ඉහළින් ප්‍රගුණ කළහ. අප විසින්ද අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඉවසීම පුරුදු කරගත යුතුය. එය ඉවසීමේ ප්‍රතිපදාවයි.
ශ්‍රාවකයා විසින් ඉවසිය යුතු දේවල්.
- සීතල ඉවසිය යුතුය,
- උෂ්ණත්වය ඉවසිය යුතුය,
3. මැස්සන්ගෙන් වන පීඩා ඉවසිය යුතුය,
4. මදුරුවන්ගෙන් වන පීඩා ඉවසිය යුතුය,
5. සුළඟින් වන පීඩාද,
6. අව්වෙන් වන පීඩාවද,
7. සර්පයින්ගෙන් වන පීඩාවන්ද ඉවසිය යුතුය.
8. නපුරු සේ කියන ලද, නොසිතූ මොහොතක අසන්නට ලැබෙන දරුණු වචන ඉවසීමට පුරුදු විය යුතුය.
9. ඉතා දරුණු වූ මාරාන්තික වේදනාවන්ද ඉවසිය යුතුය.
මෙහි ඉවසීම යනු දත්මිටි කාගෙන ඉවසීම නොවේ. ඉතා සාන්තව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් යථාර්ථය දකිමින්, යථාර්ථය සිතමින් ඉවසීමයි. එය ඉවසීමේ පාරමිතාවට අයත්ය.
කතමා ච භික්ඛවේ දමා පටිපදා? ඉධ භික්ඛවේ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති, නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමේතං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්‍රියං. චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝතේන සද්දං සුත්වා ....(පෙ).... ඝානේන ගන්ධං ඝායිත්වා ....(පෙ).... ජිව්හාය රසං සායිත්වා ....(පෙ).... කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා ....(පෙ).... මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හෝති, නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමේතං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්‍රියං. මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවේ දමා පටිපදා.
මෙම සාසනයෙහි භික්ෂුව ඇසින් රූප දැක කෙලෙස් හට ගැනීමට හේතුවන රූප නිමිත්ත ග්‍රහණය කර නොගනී. රූපයන්හි කොටස් හෙවත් අනුවයංජන. ග්‍රහණය කර නොගනී. . ඇස අසංවරව වාසය කරන විට. අභිජ්ඣා දෝමනස්ස. සංඛ්‍යාත ළාමක අකුසල ධර්මයන්. ලුහුබැඳ එයි ද එහි සංවරය පිණිස. පිළිපදියි. ඇස රැක ගනියි. ඇසෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව කනින් ශබ්ද අසා කෙලෙස් හට ගැනීමට හේතුවන ශබ්ද නිමිත්ත ග්‍රහණය කර නොගනී. ශබ්දයන්හි කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. කන අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. කන රැකගනියි, කනෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට කෙලෙස් හට ගැනීමට හේතුවන ගඳ සුවඳ නිමිත්ත ග්‍රහණය කර නොගනී. ගඳ සුවඳවල කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. නාසය අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. නාසය රැකගනියි, නාසයෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව දිවෙන් රසය දැන කෙලෙස් හට ගැනීමට හේතුවන රස නිමිත්ත ග්‍රහණය කර නොගනී. රසයන්හි කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. දිව අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. දිව රැකගනියි, දිවෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව කයින් ස්පර්ශය ලබා කෙලෙස් හට ගැනීමට හේතුවන ස්පර්ශ නිමිත්ත ග්‍රහණය කර නොගනී. ස්පර්ශයන්හි කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. කය අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. කය රැකගනියි, කයෙහි සංවරයට පැමිණෙයි.
මෙම ශාසනයෙහි භික්ෂුව මනසින් අරමුණු සිතා කෙලෙස් හට ගැනීමට හේතුවන ධර්ම නිමිත්ත ග්‍රහණය කර නොගනී. අරමුණුවල කොටස් හෙවත් අනුව්‍යංජන ග්‍රහණය කර නොගනී. මනස අසංවරව වාසය කරන විට අභිජ්ඣා දෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයන් ලුහුබැඳ එයිද, එහි සංවරය පිණිස පිළිපදියි. මනස රැකගනියි, මනසෙහි සංවරයට පැමිණෙයි.
කතමා ච භික්ඛවේ සමා පටිපදා? ඉධ භික්ඛවේ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති සමේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නං බ්‍යාපාදවිතක්කං ....(පෙ).... උප්පන්නං විහිංසාවිතක්කං ....(පෙ).... උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති සමේති ව්‍යන්තීකරෝති අනභාවං ගමේති. අයං වුච්චති භික්ඛවේ සමා පටිපදා.
මහණෙනි, සමා පටිපදා හෙවත් අකුසල විතර්ක සංසිඳවීමේ ප්‍රතිපදාව කුමක්ද? මේ ශාසනයෙහි භික්ෂුව උපන්නා වූ කාම විතර්කය සිතෙහි වාසය නොකරවයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, ගෙවා දමයි, අභාවයට පමුණුවයි.
උපන් ව්‍යාපාද විතර්කය සිතෙහි වාසය නොකරවයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, ගෙවා දමයි, අභාවයට පමුණුවයි.
උපන්නා වූ විහිංසා විතර්කය සිතෙහි වාසය නොකරවයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, ගෙවා දමයි, අභාවයට පමුණුවයි.
උපදින උපදින පාපක අකුසල ධර්මයන් සිතෙහි වාසය නොකරවයි, දුරු කරයි, බැහැර කරයි, සමනය කරයි, ගෙවා දමයි, අභාවයට පමුණුවයි. මහණෙනි, මේ පටිපදාව යැයි කියනු ලැබේ.