පොත් ලැයිස්තුව

ජතු කණ්ණී සූත්‍රය.

star_outline

පරායන වර්ගය. සුත්ත නිපාතය.

(ඉච්චායස්මා ජතුකණ්ණී)

සුත්වාන’හං වීරං අකාමකාමිං

ඕඝාතිගං පුට්ඨු මකාමමාගමං

සන්තිපදං බ්‍රෑහි සහාජනෙත්ත

යථා තච්ඡං භගවා බ්‍රෑහි මේතං

වීරයන් වහන්ස, කාමයන් ප්‍රාර්ථනා නොකරන හෙයින් අකාමකාමී වූ, ඕඝය තරණය කළ කෙනෙක් යැයි අසා, කාමයන්ගෙන් තොර වූ භාග්‍යවතුන් වහන්සේ විමසීමට පැමිණියෙමි. උපන්නා වූ ඇස් ඇත්තාණෙනි (සර්වඥතා ඥානය මෙහි ඇස යන නමින් හඳුන්වනු ලැබෙයි), ශාන්ත පදය වූ නිර්වාණය දේශනා කරනු මැනවි.

​භාග්‍යවතුන් වහන්සේ, මේ කාරණාව යථා පරිදි දේශනා කරනු මැනවි.

​භගවා හි කාමේ අභිභුය්‍ය ඉරීයති

ආදිච්චෝ ව පඨවිං තේජි තේජසා

පරිත්තපඤ්ඤස්ස මේ භූරිපඤ්ඤ

ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං

ජාතිජරාය ඉධ විප්පහානං

​භාග්‍යවතුන් වහන්සේ,හිරු තම තේජසින් පොළොව යට කරගෙන සිටින්නා සේ කාමයන් යට කරගෙන වාසය කරන සේක. මහා ප්‍රාඥයන් වහන්ස, මේ ජීවිතයේදීම ජාති, ජරා දුකෙහි ප්‍රහාණය වූ යම් ධර්මයක් දැන ගන්නේ නම්, ඒ දහම ස්වල්ප ප්‍රඥා ඇති මා හට දේශනා කරන සේක්වා.

​බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කළහ:

(ජතුකණ්ණීති භගවා)

​කාමේසුවිනය ගේධං

නෙක්ඛම්මං දට්ඨු ඛේමතෝ

උග්ගහීතං නිරත්තං වා

මා තේ විජ්ජීත්ථ කිඤ්චනං

​(භාග්‍යවතුන් වහන්සේ:)

නිර්වාණය හෝ නිර්වාණගාමිණී ප්‍රතිපදාව "ඛේම" යනුවෙන් දැක, වස්තු කාමයන් කෙරෙහි ඇති තණ්හාව දුරු කරව. තණ්හා දිට්ඨි වශයෙන් ගන්නා ලද දෙයක් හෝ බැහැර කළ යුතු දෙයක් හෝ රාගාදී උපද්‍රව හෝ ඔබ තුළ දක්නට නොලැබේවා.

​භගවා හි කාමේ අභිභුය්‍ය ඉරීයති

ආදිච්චෝ ව පඨවිං තේජි තේජසා

පරිත්තපඤ්ඤස්ස මේ භූරිපඤ්ඤ

ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං

ජාතිජරාය ඉධ විප්පහානං

​භාග්‍යවතුන් වහන්සේ, හිරු තම තේජසින් පොළොව යට කරගෙන සිටින්නා සේ කාමයන් යට කරගෙන වාසය කරන සේක. මහා ප්‍රාඥයන් වහන්ස, මේ ජීවිතයේදීම ජාති, ජරා දුකෙහි ප්‍රහාණය වූ යම් ධර්මයක් දැන ගන්නේ නම්, ඒ දහම ස්වල්ප ප්‍රඥා ඇති මා හට දේශනා කරන සේක්වා.

​යං පුබ්බේ තං විසෝසේහි

පච්ඡා තේ මාහු කිඤ්චනං

මජ්ඣේ චේ නෝ ගහෙස්සසි

උපසන්තෝ චරිස්සසි

​අතීත සංසාරය අරමුණු කරගෙන ඉපදුණා වූ යම් ක්ලේශයෝ වෙත්නම්, එම ක්ලේශයෝ මාර්ග ඥානයෙන් වියළා දමන්න. ඔබට අනාගතය අරමුණු කරගෙන රාගාදි පළිබෝධ නොවේවා. වර්තමාන සංස්කාරයන් තණ්හා දිට්ඨි වශයෙන් නොගෙන උපශාන්තව හැසිරෙන්නෙහි.

​සබ්බසෝ නාම රූපස්මිං

වීතගේධස්ස බ්‍රාහ්මණ

ආසවාස්ස න විජ්ජන්ති

යේහි මච්චු වසං වජේති

​බ්‍රාහ්මණය, නාමරූපයන් කෙරෙහි සියලු ආකාරයෙන් දුරු කරන ලද තණ්හා ඇති රහතන් වහන්සේට මරු වසඟයට යාමට හේතුවන ආශ්‍රවයෝ විද්‍යමාන නොවෙති.