සංයුත‍්තනිකායොසගාථවග‍්ගො. දෙවතාසංයුත‍්තං. සත‍්තිවග‍්ගො
එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයෙහි මෙසේ ගාථාවක් පැවසීය:
"චතුචක්කං නවද්වාරං - පුණ්ණං ලෝභේන සංයුතං,
පංකජාතං මහා වීර - කථං යාත්‍රා භවිස්සතිති."
අර්ථය:
"මහා වීරයාණන් වහන්ස, රෝද හතරක් ඇති, දොරටු නමයක් ඇති, අසූචියෙන් පිරුණු, ලෝභයෙන් යුක්ත වූ, මඩෙහි උපන් මේ ශරීරය නමැති යානයාගේ නික්මයාම කෙසේ නම් සිදුවන්නේද?"
චතු චක්ක සූත්‍රය - පද විග්‍රහය
චතුචක්කං (සතර ඉරියව් පැවැත්ම):
මෙයින් අදහස් කරන්නේ සත්වයාගේ ශරීරයේ පැවැත්ම රඳා පවතින සතර ඉරියව්වයි. එනම්: ගමන් කිරීම (ගමන), සිටගෙන සිටීම (ඨාන), ඉඳගෙන සිටීම (නිසජ්ජ), සහ නිදාගෙන සිටීම (සෙය්‍ය) යන ක්‍රියාවන්ය. මේවා ශරීරය නමැති රථයේ රෝද හතර බඳුය.
නව ද්වාරං (දොරටු නවය):
ශරීරයේ ඇති දොරටු නවය පහත පරිදි වේ:
ඇස් සිදුරු දෙක
කන් සිදුරු දෙක
නාස් සිදුරු දෙක
මුව සිදුර
මල මාර්ගය
මුත්‍ර මාර්ගය
මෙම දොරටු නවයෙන් නිරතුරුවම අසූචි හෙවත් අශුභ දේම වැගිරෙමින් පවතී.
පුණ්ණං.... යනු අසූචියෙන් පිරුණේය. මේ කය අසූචි සමූහයකි. කාල වර්ණ කෙස් නම් අසූචියෙන් පිරුණේය. ලෝම කූප නම් අසූචියෙන් පිරුණේය. මසුන්ගේ කොරපොතු බඳු නියපොතු නම් අසූචිය ඇත්තේය. කෙළ, සෙම, පිත ගෑවුණු අපිරිසිදු දත් ඇත්තේය. මස් කරන ලද මළකුණක් වසා ඇති සම්කඩක් බඳු සම ඇත්තේය. නම සීයක් මස් පිඬු ඇත්තේය. නම සීයක් නහර වැල් ඇත්තේය. තුන්සීයක් ඇට කැබලි ඇත්තේය. ඇට ඇතුළත ඇට මිදුළු ඇත්තේය. ලේ පිරිසිදු කරන කුඩා පෙරහන් කඩවල් මිලියනයක් පමණ පිහිටි, වකුගඩු නම් කුණප කොටසක් ඇත්තේය. හදවත නම් කුණප කොටසක් ඇත්තේය. අක්මාව නම් කුණප කොටසක් ඇත්තේය. හදවතද පෙනහළුද වසා සිටින රෙදි කඩක් බඳු, දළඹු සිවිය නම් කුණප කොටසක් ඇත්තේය. දියවැඩියාව පාලනයට අවශ්‍ය ඉන්සියුලින් නිපදවන, ආහාර ජීරණයට අවශ්‍ය පැසවන රස (පිත් වතුර) නිපදවන අග්න්‍යාසය නම් කුණප කොටසක් ඇත්තේය. පෙනහළු නම් කුණප කොටසක් ඇත්තේය. මහා ගැරඬියෙකු ඔළුව කපා දමා හම ගසා මල්ලක් අස්සට දැමුවා සේ පිහිටි අපිරිසිදු බඩ වැල් නම් කුණප කොටසක් ඇත්තේය.
විසි එක් තැනකින් නැමී ඇති බඩවැල, ඒ ඒ නැමුණු තැන්වලින් බැඳ තබන, සම්පටි බඳු බඩවැල් බන්දන නම් කුණප කොටසක් ඇත්තේය. ආමාසයෙහි බලු වමනයක් සේ අපිරිසිදු වූ නොදිරවූ ආහාර නම් කුණප කොටසක් ඇත්තේය. බඩවැලෙහි කෙළවර ප්‍රක්වාසය නම් කොටසෙහි දිරා ගිය ආහාර නම් වූ අසූචි නම් කුණප කොටසක් ඇත්තේය. හිස ඇතුළත පිහිටින හිස් මොළ නම් කුණප කොටසක් ඇත්තේය. කහ වර්ණයෙන් යුතු දුගඳ හමන්නා වූ පිත නම් කුණප කොටසක් ඇත්තේය. දුගඳ හමන්නා වූ අපිරිසිදු වූ සෙම නම් කුණප කොටසක් ඇත්තේය. සැරව නම් කුණප කොටසක් ඇත්තේය. රක්ත වර්ණයෙන් යුතු ලේ නම් කුණප කොටසක් ඇත්තේය. දහඩිය නම් කුණප කොටසක් ඇත්තේය. මේද තෙල් නම් කුණප කොටසක් ඇත්තේය. ඇස්වලින් බේරෙන කඳුළු නම් කුණප කොටසක් ඇත්තේය. හමෙහි පවතින තෙල් ගතිය, වුරුණු තෙල් නම් කුණප කොටසක් ඇත්තේය. කටින් බේරෙන සෙම නම් පිළිකුල් කොටසක් ඇත්තේය. නාසයෙන් වැගිරෙන සොටු නම් පිළිකුල් කොටසක් ඇත්තේය. හන්දිවල ක්‍රියාකාරීත්වයේ පහසුව පිණිස ජෙල් එකක් බඳු සඳමිදුලු නම් කුණප කොටසක් ඇත්තේය. මුත්‍රාසය තුළ පිහිටින ඉතා දුගඳ හමන්නා වූ මුත්‍ර නම් කුණප කොටසක් ඇත්තේය.
මෙසේ දෙතිස් කුණප නම් අසූචියෙන් පිරුණේය.
ලෝභේන සංයුතං... ලෝභයෙන් සංයුක්ත වී ඇත.
පංකජාතං... මාතු ගර්භය නම් මඩෙහි උපන්නේය.
කථං යාත්‍රා භවිස්සති... මෙම ශරීරයෙන් නික්ම යන්නේ කෙසේද? මෙබඳු ආකාර ඇත්තා වූ ශරීරයෙන් නික්මෙන්නේ කෙසේද, මිදෙන්නේ කෙසේද, විශේෂයෙන් මිදෙන්නේ කෙසේද, මෙම ශරීරය ඉක්මවා යන්නේ කෙසේද?
එවිට බුදුරජාණන් වහන්සේ මෙබඳු ආකාර ඇති ශරීරයෙන් නික්මී යන ප්‍රතිපදාව දේශනා කරමින් ඉතා වටිනා ගාථාවක් වදාළ සේක.
"ඡෙත්වා නන්දිං වරත්තංච - ඉඡාලෝභංච පාපකං,
සමූළං තණ්හං අබ්බුයිහ - ඒවං යාත්‍රා භවිස්සති."
අර්ථය:
"බද්ධ වෛරය නම් ලනුවද, සෙසු කෙලෙස් නම් සම්පටියද, නොලැබුණු දෑ පැතීම නම් ලාමක වූ ආශාවද, ලැබුණා වූ දේ තුළ ඇලීමද සිඳ දමා, අවිද්‍යාව නමැති මුල සහිතව තණ්හාව උදුරා දැමීමෙන්, මෙසේ ශරීර නමැති යානයෙන් මිදී යාම වන්නේය."
ගාථා විස්තරය
නන්දිං... උපනාහය හෙවත් බද්ධ වෛරය මින් අදහස් කරයි. මුල් අවස්ථාවේදී ක්‍රෝධය නමින්ද, ඉන්පසුව උපනාහය හෙවත් බද්ධ වෛරය නමින්ද හඳුන්වන බලවත් ක්‍රෝධය "නන්දි" නම් වේ.
වරත්තංච... වරපට හෙවත් සම්පටිය. මෙහි දක්වා ඇති කෙලෙස් හැර අන් සියලු කෙලෙස් "සම්පටිය" නමින් හඳුන්වා ඇත. ක්ලේශයෝ සත්ත්වයා සසර බැඳ තබන සම්පටි වැනිය. මාරයාගේ තොණ්ඩුව යන නමින්ද කෙලෙස් හඳුන්වයි.
ඉච්ඡා ලෝභඤ්ච... යමක් කෙරෙහි පළමුවෙන් ඇතිවන ආසාව "ඉච්ඡා" යන නමින්ද, ඒ දේ කෙරෙහි ඇතිවන බලවත් වූ ආශාව "ලෝභය" යන නමින්ද හඳුන්වනු ලැබේ. කැමති වන, ප්‍රාර්ථනා කරන දෙය කෙරෙහි ඇති ආසාව ඉච්ඡා නමින්ද, ලැබුණා වූ දේ කෙරෙහි ඇති ආසාව ලෝභය නමින්ද හඳුන්වයි. ලෝභය අකුසල මූලයකි. ලෝභයෙන් යට වූ තැනැත්තා ප්‍රාණඝාත ආදී දස අකුසලයෙහි යෙදෙයි. දානාදී පින්කම් නොකරයි. සීල, සමාධි ආදී ගුණ පිළිවෙත් නොරකියි. ඒ අඥානයෝ සසර දීර්ඝ කර ගනිති.
සමූලං තණ්හං අබ්බුයිහ... අවිද්‍යා මුල් සහිත තණ්හාව උදුරා දමා මෙසේ නික්මයාම වන්නේය.