පොත් ලැයිස්තුව

සක්මන් භාවනාව.

star_outline

ඇවිදිමින් කරන භාවනාව සක්මන් භාවනාව ලෙස හඳුන්වනු ලබයි. එය පුරුදු කරන ආකාර කීපයක් තිබේ. බුදුගුණ, මෛත්‍රිය, පිළිකුල් භාවනාව, අට්ඨික සංඥා භාවනාව,ආදී භාවනා අරමුණක් මෙනෙහි කරමින්, ඇවිදීම එක සක්මන් භාවනාවකි. එය ගෝචර සම්පජඤ්ඤයට අයත්ය. වෙන දෙයක් හිතමින් තව දෙයක් කිරීම ගෝචර සම්පජඤ්ඤයයි. . උදාහරණයක් ලෙස බුදුගුණ සිතමින් ඇවිදීම ගෝචර සම්පජඤ්ඤයයි. මෛත්‍රී වඩමින් මිදුල ඇමදීම ගෝචර සම්පජඤ්ඤයයි.

පාදයෙහි සිත පිහිටුවාගෙන ඇවිදීමද සක්මන් කරන ක්‍රමවේදයකි. සක්මන් කිරීම සඳහා සක්මන් මළුවක් පිළියෙල කරගත යුතුය. නැතිනම් නිවස ඇතුළත හෝ මිදුලෙහි හෝ යම් ස්ථානයක් තෝරාගත යුතුය. අඩි තිහක් අඩි 45 ක් අඩි 60ක් ආදී වශයෙන් සක්මන් කරන දුර ප්‍රමාණ දක්වා ඇත. සක්මන් කිරීමට තැනක් තෝරා ගෙන එහි එක කෙළවරක සිට ගන්න. ඉන්පසුව සිටගෙන සිටින ශරීරයට සිත යොමු කරමින් සිටිනවා සිටිනවා යනුවෙන් මෙනෙහි කරන්න. ඉන්පසුව ඉදිරියට යාමට හිතෙනවා. ඉදිරියට යාමට හිතෙනවා. යනුවෙන් මෙනෙහි කරන්න. දැන් පාදයට සිත යොමු කරමින් දකුණු පාදය තබන විට දකුණ කියා සිතන්න. වම් පාදය තබන විට වම කියා සිතන්න. නියමිත දුර ගමන් කර අවසන් වූ පසු නතර වෙමි නතර වෙමි යනුවෙන් සිතන්න. එසේ සිතමින් නතර වෙන්න.ඉන්පසුව සිටගෙන සිටින ශරීරයට සිත යොමු කරමින් සිටිනවා සිටිනවා කියා සිතන්න. ඉන්පසුව හැරෙනවා හැරෙනවා කියා සිතමින් හැරෙන්න. නැවතත් සිටිනවා සිටිනවා කියා සිටගෙන සිටින ශරීරයට සිත යොමු යොමු කර සිහිකරන්න. ඉදිරියට යමි ඉදිරියට යමි කියා සිතා .. නැවතත් වම දකුණ ආදී පිළිවෙලින් සිහි කරමින් ඉදිරියට යාම කළ යුතුය. අවසානයේදී නතරවීමද හැරීමද නැවත නතරවීමද නැවත ගමන් කිරීම ද පෙර සඳහන් කළ පරිදිම කළ යුතුය. මෙම ක්‍රමය ඉතා හොඳින් පුරුදු වූ පසු වම දකුණ යනුවෙන් ටික වෙලාවක් මෙනෙහි කරමින් සක්මන් කර ඉන්පසුව වම දකුණ වෙනුවට ඔසවනවා තබනවා යන අවස්ථා දෙක සිහි කරමින් පාදය එසවීමත් තැබීමත් සිහියෙන් යුතුවම කරමින් සක්මන් කරන්න. සෙසු උපදෙස් පෙර පරිදිමය. එම ක්‍රමයත් ඉතා හොඳින් පුරුදු පුහුණු වූ පසු ඔසවනවා ගෙනියනවා තබනවා යන අවස්ථා තුන මෙනෙහි කළ යුතුය නැවතීම හැරීම ආදිය පෙර පරිදිම සිහියෙන් කළ යුතුය. මේ ක්‍රමයත් බොහෝ කලක් පුරුදු කිරීමෙන්. ඔසවනවා ගෙනියනවා තද කරනවා තබනවා යන අවස්ථා හතර සිහියෙන් දකිමින් මෙනෙහි කළ යුතුය. තවදුරටත් මෙම භාවනා ක්‍රමය කරනු කැමැත්තේ නම් මහා සතිපට්ඨාන සූත්‍ර අට්ඨකථාවෙහි දක්වා ඇති පරිදි ,සක්මන තුළ නාම රූප වෙන්කර දැකීමට පුරුදු පුහුණු විය යුතුය.