පොත් ලැයිස්තුව

බ්‍රාහ්මණ සූත්‍රය

star_outline

(ඉතිවුත්තකපාලිය - චතුක්ක නිපාතය)

​භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

​"අහමස්මි, භික්ඛවේ, බ්‍රාහ්මණෝ යාචයෝගෝ සදා පයතපාණි අන්තිමදේහධරෝ අනුත්තරෝ භිසක්කෝ සල්ලකත්තෝ. තස්ස මේ තුම්හේ පුත්තා ඔරසා මුඛතෝ ජාතා ධම්මජා ධම්මනිම්මිතා ධම්මදායාදා, නෝ ආමිසදායාදා."

​මහණෙනි, මම ධර්මය අන් අයට ලබා දෙන බැවින්, ධර්මය ඉල්ලා සිටීමට සුදුසුය (යාචයෝගෝ). සෑම කල්හිම ධර්මය දේශනා කිරීමට සූදානම්ව සිටින බැවින්, සැමදා සෝදා පිරිසිදු කරගත් අත් ඇති කෙනෙක්මි. අන්තිම ශරීරය දරන්නා වූ, සංසාර දුකට ප්‍රතිකාර කරන හෙයින් උසස් වෛද්‍යවරයෙක් වූ, රාග ද්වේෂ මෝහ මුල් උදුරා දමන බැවින් ශල්‍ය වෛද්‍යවරයෙක් වූ, පාප ධර්ම බැහැර කර සිටින බැවින් බ්‍රාහ්මණ කෙනෙක්මි. මහණෙනි, ඔබලා මාගේ මුඛයෙන් උපන් (දේශිත ධර්මයෙන් උපන් බැවින්), ධර්මයෙන් උපන්, ධර්මයෙන් නිර්මාණය වූ, ධර්මයම දායාද කොට ඇති, ආමිසය දායාද කොට නැති ඖරස පුත්‍රයෝ වන්න

ධර්ම විස්තරය

​මෙම දේශනා කොටසේදී බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට විශේෂණ පද කීපයක් යොදා ඇත. එනම්:

1..​යාචයෝගෝ: ධර්මය ඉල්ලීමට සුදුසු කෙනෙකි.

2..​සදා පයතපාණී: ධර්මය ලබා දීමට සැමදා සෝදා පිරිසිදු කරගත් අත් ඇතිව සිටින්නෙකි.

3..​අන්තිම දේහධරෝ: අවසාන ශරීරය දරන්නෙකි. උන්වහන්සේ දරාගෙන සිටියේ සසර ගමනේ අවසාන ශරීරයයි.

4..​අනුත්තරෝ භිසක්කෝ: උසස් වූ වෛද්‍යවරයෙකි.

5..​සල්ලකත්තෝ: රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් උල් ගලවා දමන බැවින් ශල්‍ය වෛද්‍යවරයෙකි.

6..​බ්‍රාහ්මණෝ: සියලු පව් බැහැර කළ බැවින් බ්‍රාහ්මණ කෙනෙකි.

​උන්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා හැඳින්වීමටද විශේෂණ පද කීපයක් දේශනා කළහ:

1..​මුඛතෝ ජාතා: බුද්ධ දේශිත ධර්මයෙන් උපන් බැවින් බුදු මුවින් උපන්නෝය.

2.​ධම්මජා: ධර්මයෙන් උපන්නෝය.

3..​ධම්ම නිම්මිතා: ධර්මයෙන් නිර්මාණය වූවෝය.

4..​ධම්මදායාදා: ධර්මය දායාද වශයෙන් ගන්නෝය.

5..​නෝ ආමිසදායාදා: ආමිස දායාදය නොගන්නෝය.

6..​ඕරසා: ඖරස පුත්‍රයෝය.

ධර්ම විස්තරය

​මෙම දේශනා කොටසේදී බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට විශේෂණ පද කීපයක් යොදා ඇත. එනම්:

1..​යාචයෝගෝ: ධර්මය ඉල්ලීමට සුදුසු කෙනෙකි.

2..​සදා පයතපාණී: ධර්මය ලබා දීමට සැමදා සෝදා පිරිසිදු කරගත් අත් ඇතිව සිටින්නෙකි.

3..​අන්තිම දේහධරෝ: අවසාන ශරීරය දරන්නෙකි. උන්වහන්සේ දරාගෙන සිටියේ සසර ගමනේ අවසාන ශරීරයයි.

4..​අනුත්තරෝ භිසක්කෝ: උසස් වූ වෛද්‍යවරයෙකි.

5..​සල්ලකත්තෝ: රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් උල් ගලවා දමන බැවින් ශල්‍ය වෛද්‍යවරයෙකි.

6..​බ්‍රාහ්මණෝ: සියලු පව් බැහැර කළ බැවින් බ්‍රාහ්මණ කෙනෙකි.

​උන්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා හැඳින්වීමටද විශේෂණ පද කීපයක් දේශනා කළහ:

1..​මුඛතෝ ජාතා: බුද්ධ දේශිත ධර්මයෙන් උපන් බැවින් බුදු මුවින් උපන්නෝය.

2.​ධම්මජා: ධර්මයෙන් උපන්නෝය.

3..​ධම්ම නිම්මිතා: ධර්මයෙන් නිර්මාණය වූවෝය.

4..​ධම්මදායාදා: ධර්මය දායාද වශයෙන් ගන්නෝය.

5..​නෝ ආමිසදායාදා: ආමිස දායාදය නොගන්නෝය.

6..​ඕරසා: ඖරස පුත්‍රයෝය.

ධර්ම දායාදය

​බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රාවකයකු විසින් ලබාගත යුතු උතුම්ම දෙය ධර්ම දායාදයයි. තථාගතයන් වහන්සේ වෙත ලැබෙන හෙවත් බුදුරජාණන් වහන්සේට පූජා කරන සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය, භේසජ්ජ, පරිෂ්කාර ආදිය ආමිස කොටස්ය. එම ආමිසය දායාදයක් වශයෙන් ගැනීම භික්ෂුවට නොගැලපෙයි. භික්ෂුව විසින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයම දායාදයක් වශයෙන් ලබා ගත යුතුය.

​ධර්මය යනු කුමක්ද?

නිප්පරියාය ධර්මය සහ පරියාය ධර්මය කියා ධර්මය කොටස් දෙකකට බෙදෙයි.

​නිප්පරියාය ධර්මය යනු මාර්ග, ඵල, නිර්වාණය ආදී භේද ඇති නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි. එම ධර්මය තමා තුළ උපදවා ගත යුතු ධර්මයක් වන බැවින් "නිප්පරියාය ධර්මය" යන නමින් හඳුන්වනු ලැබේ.

​පරියාය ධර්මය යනු කුමක්ද?

නිවන් අවබෝධ කර ගැනීමේ අදහසින් සිදු කරන්නා වූ කුසල ධර්මයන් "පරියාය ධර්මය" යන නමින් හඳුන්වනු ලැබේ. මේ බුද්ධ ශාසනය තුළ සමහර ශ්‍රාවකයෝ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් දන් දීම සිදු කරති, සිල් රැකීම සිදු කරති. උපෝසථ කර්මය හෙවත් පෝයට සිල් ගැනීම් ආදිය හෝ උපසම්පදා භික්ෂූන් පෝයට විනය කර්ම කිරීම් ආදිය සිදු කරති. සුවඳ, මල්, ගිලන්පස, දැහැත් ආදී දේ ශාස්තෘන් වහන්සේ උදෙසා පූජා කරති. ධර්ම ශ්‍රවණය කරති, ධර්මය දේශනා කරති, ධ්‍යාන සමාපත්තීන් උපදවා ගනිති. එසේ කිරීමෙන් අනුපිළිවෙලින් නිප්පරියාය නම් වූ අමෘත මහා නිර්වාණය ලබා ගනිති. එම නිවනට ගැලපෙන ධර්මය වන බැවින් පෙර සඳහන් කරන ලද ප්‍රතිපත්ති ධර්මයන් "පරියාය ධර්මය" යන නමින් හඳුන්වනු ලබයි.

​පරියාය ධර්මය බුදුරජාණන් වහන්සේටම අයත් වූ දෙයකි. මක්නිසාද එය උන්වහන්සේ විසින් දේශනා කරන ලද බැවිනි, හඳුන්වා දෙන ලද බැවිනි. එබැවින් ශ්‍රාවකයා විසින් පරියාය ධර්මය ඉගෙන ගෙන එය අනුගමනය කළ යුතුය. එම පරියාය ධර්මය අනුගමනය කොට නිප්පරියාය ධර්මය හෙවත් මාර්ගඵල නිවන සාක්ෂාත් කරගත යුතුය. එය ධර්ම දායාදය ලබා ගැනීමයි.

​ආමිස සහ ධර්ම දාන විභාගය

​"ද්වේමානි, භික්ඛවේ, දානානි — ආමිසදානඤ්ච ධම්මදානඤ්ච. ඒතදග්ගං, භික්ඛවේ, ඉමේසං ද්වින්නං දානානං යදිදං ධම්මදානං."

​මහණෙනි, ආමිස දානය, ධර්ම දානය කියා දාන දෙකකි. මහණෙනි, මේ දාන දෙක අතරින් යම් ධර්ම දානයක් වේ නම්, එය අග්‍රයි.

​"ද්වේමේ, භික්ඛවේ, සංවිභාගා — ආමිසසංවිභාගෝ ච ධම්මසංවිභාගෝ ච. ඒතදග්ගං, භික්ඛවේ, ඉමේසං ද්වින්නං සංවිභාගානං යදිදං ධම්මසංවිභාගෝ."

​මහණෙනි, බෙදා දීම් දෙකකි; ආමිස සංවිභාගය සහ ධර්ම සංවිභාගයයි. මහණෙනි, මේ සංවිභාග හෙවත් බෙදා දීම් අතරින් යම් ධර්ම සංවිභාගයක්, හෙවත් ධර්මය බෙදා දීමක් තිබේද, එය අග්‍රයි.

​"ද්වේමේ, භික්ඛවේ, අනුග්ගහා — ආමිසානුග්ගහෝ ච ධම්මානුග්ගහෝ ච. ඒතදග්ගං, භික්ඛවේ, ඉමේසං ද්වින්නං අනුග්ගහානං යදිදං ධම්මානුග්ගහෝ."

​මහණෙනි, අනුග්‍රහ කිරීම් දෙකක් තිබේ; ආමිසයෙන් අනුග්‍රහ කිරීමය, ධර්මයෙන් අනුග්‍රහ කිරීමය. මෙම අනුග්‍රහ කිරීම් දෙක අතරින් ධර්මයෙන් අනුග්‍රහ කිරීම අග්‍ර වෙයි.

​"ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති."

​මෙම අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ සේක. එම අර්ථය ගාථාවලින්ද මෙසේ කියනු ලබයි:

​"යෝ ධම්මයාගං අයජී අමච්ඡරී,

තථාගතෝ සබ්බභූතානුකම්පී;

තං තාදිසං දේවමනුස්සසෙට්ඨං,

සත්තා නමස්සන්ති භවස්ස පාරගුන්ති."

​මසුරු මළකඩ රහිත වූ, සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති, යම් තථාගතයන් වහන්සේ කෙනෙක් ධර්ම දානය ලබා දුන් සේක්ද, දේවමනුෂ්‍යයන් අතරෙහි ශ්‍රේෂ්ඨ වූ, බවෙහි පරතෙරට පැමිණියා වූ එබඳු තථාගතයන් වහන්සේට සත්වයෝ නමස්කාර කරති.

​"අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා, ඉති මේ සුතන්ති."

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ සේක. මා විසින් මෙසේ අසන ලදී.

​ධර්ම දානය සහ ආමිස දානය

​තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටක ධර්මය ඉගැන්වීම, ත්‍රිපිටක පොත්පත් පූජා කිරීම, අටුවා ඉගැන්වීම, අටුවා පොත්පත් ආදිය ලියවා පූජා කිරීම ධර්ම දානයකි. එය ධර්ම දානයන් අතර අග්‍රම වූ ධර්ම දානයයි. "ශුද්ධ ධර්ම දානය" යන නමින්ද එය හඳුන්වනු ලැබේ.

​ත්‍රිපිටකයෙහි එන සූත්‍ර දේශනා හෝ විනය දේශනා හෝ අභිධර්ම දේශනා හෝ විස්තර කරමින් ධර්ම දේශනා කිරීමද ධර්ම දානයකි. ධර්ම දේශනා කරන භික්ෂූන් වහන්සේලා තමාගේ ගමට හෝ විහාරස්ථානයට හෝ නිවසට හෝ වෙනත් ආයතනයකට හෝ වැඩම කරවා ධර්ම දේශනා කිරීම සඳහා අනුග්‍රහ දැක්වීමද ධර්ම දානමය කුසලයකි. ධර්ම දේශකයාණන් වහන්සේලාට සුවසේ ධර්ම දේශනා කිරීම පිණිස ආහාරපාන ආදිය පූජා කිරීමද, සේනාසන ආදිය පූජා කිරීමද, තවත් අවශ්‍ය වන්නා වූ පරිෂ්කාර ආදිය පූජා කිරීමද ධර්ම දානයටම අයත්ය. එයට හේතුව ඒවා ධර්ම පරිෂ්කාර වන බැවිනි.

​මේ ලෝකයෙහි තිබෙන බෙදා දීම් අතර උතුම්ම බෙදා දීම ධර්මය බෙදා දීමයි. මිනිසුන්ට අනුග්‍රහ කරන්නේ නම් ධර්මයෙන් අනුග්‍රහ කිරීම හෙවත් ධර්මය ලබා දී උපකාර කිරීම ලෝකයෙහි ඇති අග්‍රම අනුග්‍රහයයි. ලොව ඇති උතුම්ම යාගයද ධර්මයාගයයි.

​ධර්ම දානයේ ආනිසංස කියා නිම කළ නොහැකි තරම්ය. පැරැණි පොත්පත්හි, බණ ඇසීමේ ආනිසංසය කල්ප නමයක් ලැබෙන බවද, ධර්ම දේශනාවක දායකත්වය දැරීමේ ආනිසංස විපාකය කල්ප අටක් ලැබෙන බවද, ධර්ම දානමය පිනක් අනුමෝදන් වීමෙන් කල්පයක් සැප විපාක ලැබෙන බවද දක්වා තිබේ. ධර්ම දේශනා කරන දේශකයාණන් වහන්සේලාට ලැබෙන ආනිසංස ප්‍රමාණය සංඛ්‍යා කළ නොහැකිය, ප්‍රමාණ කළ නොහැකිය.