අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වන්නා වූ සියලු තණ්හා උපාදානය දුරුකරව. (රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි තණ්හාවෙන් යුතුව ග්‍රහණය කර ගැනීම හෙවත් තණ්හා උපාදානය, ආදාන තණ්හාව යන නමින් හඳුන්වයි, යනු අටුවාවයි.) ලෝකයෙහි යම් යම් වස්තුවක් උපාදාන කර ගන්නේ නම්, ඒ හේතුවෙන්ම මාරයා (ස්කන්ධ මාරයා) ජනතාව, සත්වයා අනුව ගමන් කරයි.
තස්මා පජානං න උපාදියේථ
භික්ඛු සතෝ කිඤ්චනං සබ්බලෝකේ
ආදානසත්තේ ඉති පෙක්ඛමානෝ
පජං ඉමං මච්චුධෙය්‍යේ විසත්තන්ති.
එම නිසා සතිමත් වූ, සියලු සංස්කාර අනිත්‍යාදී වශයෙන් දන්නා වූ භික්ෂුව, මාරයාට අයත් ක්ෂේත්‍රයෙහි (මච්චුධෙය්‍යයෙහි) ප්‍රජාව ඇලී සිටින්නාහු යැයි නුවණින් දකිමින්, තණ්හා උපාදානයෙන් ඇලී සිටින සියලු ලෝකයෙහි කිසිදු කිඤ්චනයක් (රාගාදී උපද්‍රවයක්) උපාදාන කර නොගන්නේය.