පොත් ලැයිස්තුව

බාල වර්ගය. හත්වන සූත්‍රය.

star_outline

අංගුත්තර නිකාය.දුක නිපාතය.බාල වර්ගය.

හත්වන සූත්‍රය.

බුද්ධ ජයන්ති පිටු 118.

මිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවේ ද්වින්නං ගතීනං අඤ්ඤතරා ගති පාටිකඞ්ඛා නිරයෝ වා තිරච්ඡානයෝනී වාති.

​මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතරින් එකක් බලාපොරොත්තු විය යුතුය.

​ධර්මාර්ථ විස්තරය

​ලෝකයෙහි පවතින ඉතා දරුණුම අකුසලය මිථ්‍යාදෘෂ්ටියයි. මිථ්‍යාදෘෂ්ටිය තරම් මහත් වූ තවත් අකුසලයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

​වැරදි සහගත වූ දෙය සත්‍ය වශයෙන් දැකීම මිථ්‍යාදෘෂ්ටියයි. එය කොටස් දහයකට බෙදා විස්තර කර දී ඇත.

1.​නත්ථි දින්නං:

දානයෙහි විපාක නැත. අසරණ අහිංසක කෙනෙකුට උපකාර කරන අදහසින් හෙවත් අනුග්‍රහ කරන අදහසින් යමක් දීම මින් අදහස් කරයි. එහි පිනක් නැති බවත් ඉන් වන යහපතක් නැති බවත් මෙම දෘෂ්ටිකයෝ සිතති, කියති.

2.​නත්ථි යිට්ඨං:

මහා දානයේ විපාක නැත. මහාදානම් යනු මහත් සේ දෙනු ලබන විශාල දානයන්ය. එබඳු දාන කළ හැකි බවද, එහෙත් එහි ඵල විපාකයක් නැති බවද මෙම මිථ්‍යාදෘෂ්ටිය දරන්නෝ සිතති.

3..​නත්ථි හුතං:

​ආහුන පාහුන මංගල කිරියාය තං කාතුං සක්කාති ජානාති. තස්ස පන ඵල විපාකෝ නත්ථිති ගණ්හාති. (ධම්ම සංඝනී අට්ඨකථා)

​දුර සිට ගෙනවිත් පූජා කරන දෙය ආහුන නම් වෙයි. ගෙනවිත් පිදිය යුතුය යන තේරුම එහි ඇත. ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය පාහුණ නම් වෙයි. එම භෝජනය ප්‍රතිග්‍රාහකයෙකු හමු වුවහොත් දන් දීමද සිදු කරනු ලබයි. මංගල අවස්ථා ආදියේදීත් පිරිනමන දාන තිබේ. මේ සියලු දානයන් කිරීමට හැකියාව ඇතැයි දනී; එහෙත් එහි ඵල විපාක නැතැයි යන අදහසක් දැරීම නත්ථි හුතං යන මිථ්‍යාදෘෂ්ටියයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය ගන්නා ලද තැනැත්තා සිල්වතුන් ගුණවතුන් උදෙසා පූජා වස්තු ගෙනවිත් පූජා කරන්නේ නැත. ආගන්තුකයින් උදෙසා සකසන ලද භෝජන ප්‍රතිග්‍රාහකයෙකු ලැබුණු විටද නොදෙන්නේය. උපන්දිනය, විවාහය, නිවසට පදිංචි වීම ආදී විශේෂ මංගල සම්මත දිනවලදීද ආශීර්වාද ලබා ගැනීමේ අදහසින් දන් නොදෙන්නේය.

5..නත්ථි සුකටදුක්කතානං කම්මානං ඵලං විපාකෝ:

යහපත් සේ කරන ලද කර්මයන්ගේද අයහපත් සේ කරන ලද කර්මයන්ගේද විපාක නැත.යනුවෙන් සිතීම මෙම මිථ්‍යාදෘෂ්ටියයි. . යහපත් සේ කරන ලද කර්ම යනු දස කුසල කර්මපථයෝය. අයහපත් සේ කරන ලද කර්ම යනු දස අකුසල කර්මපථයෝය. ඒවා කිරීමට හැකියාවක් ඇත. එහෙත් එහි ඵල විපාකයක් නැත. යනුවෙන් මෙම දෘෂ්ටිකයෝ සිතති. මෙම මිථ්‍යාදෘෂ්ටිය ඉතා බලවත්ය. මෙම මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූවෝ කුසල අකුසල කර්ම සහ කුසල අකුසල කර්ම විපාක පිළිනොගනිති. එනිසාම බොහෝ අකුසල ධර්මයෝ රැස් කර ගනිති. තමාද අකුසල් කරමින් අන් අයද අකුසලයන්හි යොදවති, සමාදන් කරවති. අකුසලයෙහි දරුණු විපාකයක් නැතැයි කියති. ප්‍රාණඝාතය බහුල වීමටත්, සොරකම් කිරීම බහුල වීමටත්, කාමමිථ්‍යාචාරය බහුල වීමටත්, බොරු කීම බහුල වීමටත්, කේලාම් කීම බහුල වීමටත්, පරුෂ වචන කීම බහුල වීමටත්, හිස් වචන කීම බහුල වීමටත්, අන් අය සතු වස්තුවට ආසා කිරීම බහුල වීමටත්, ව්‍යාපාදය බහුල වීමටත්, මිථ්‍යාදෘෂ්ටිය බහුල වීමටත් මෙම මිථ්‍යාදෘෂ්ටිය පදනම් වන්නේය.

6.​නත්ථි අයං ලෝකෝ:

පරලෝකයෙහි සිටි තැනැත්තාට මේ ලෝකයක් නැත යන අදහස මින් කියවෙයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය දරන්නා අතීත සසර ගමන පිළිනොගනිති. අතීත සසරෙහි ගමන් කරන ලද කෙනෙකුට කර්මානුරූපව ඉපදීමක් සිදුවන බව විශ්වාස නොකරති. මව්පියන් නිසා පමණක් ඉපදීම සිදුවන බව සිතති. මෙයද ඉතා දරුණු වූ වැරදි අදහසකි. භෞතිකවාදය යනුවෙන්ද මෙය හඳුන්වයි.

7..​නත්ථි පරලෝකෝ:

මේ ලෝකයෙහි සිටි තැනැත්තාට පරලොවක් නැත යනුවෙන් සිතීම මෙම මිථ්‍යාදෘෂ්ටියයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය දරන්නෝ මරණින් මතු කර්මානුරූපව උපදින බව විශ්වාස නොකරති. මරණයත් සමඟම ජීවිතයත් ආත්මයත් අවසන් වන බව ඔවුහු සිතති.

7.​නත්ථි මාතා:

8.​නත්ථි පිතා:

​මව නැත. පියා නැත. මෙම මිථ්‍යා දෘෂ්ටිය දරන්නෝ මව්පියන් සිටින බව දනිති. එහෙත් මව්පියන්ට උපකාර කිරීමෙන් පින් සිදු වන බව විශ්වාස නොකරති. මව්පියන්ට නොසැලකීමෙන් පව් සිදුවන බව විශ්වාස නොකරති.

​මව්පියෝ දරුවන්ට බොහෝ උපකාර කරන්නෝය. දරුවන්ගේ අත්පා නොකඩා රැකවරණ සලසන්නේ මව්පියෝය. දරුවන් පෝෂණය කරන්නේද මව්පියෝය. මේ ලෝකයට අපව හඳුන්වාදීම මව්පියන් විසින් කරන ලදී. අනන්ත අප්‍රමාණ ගුණ ඇති මව්පියන්ට සැලකීමෙන් කුසලයක් සිදු නොවන බව විශ්වාස කිරීම ඉතා බලවත් පාපයකි. මව්පියන්ට නොසලකන්නෝ මරණින් මතු නිරයගාමී වෙති. මෙලොවදීම බොහෝ දෙනාගේ නින්දා අපහාස ආදියට ලක්වෙති.

9..​නත්ථි සත්තා ඕපපාතිකා:

​ඕපපාතික සත්වයෝ නැත යනුවෙන් විශ්වාස කිරීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි. මව්පිය සම්භවයකින් තොරව උපදින සත්වයෝ ඕපපාතික සත්වයන් වශයෙන් හඳුන්වනු ලබයි. ඕපපාතික සත්වයෝ යනු ඉබේ පහළ වන සත්වයෝ යැයි සමහරු කියති. එහෙත් එය වැරදි මතයකි. ඉබේ පහළ වන සත්වයෝ නැත. සියලු සත්වයෝ කර්මානුරූපව උපත ලබති. කර්මානුරූපව අංග සම්පූර්ණ ශරීර ඇතුව ඉපදීම ඕපපාතික උපතයි. .දෙවියෝද, බ්‍රහ්මයෝද, නිරයේ සිටින සත්වයෝද, ප්‍රේතයෝද. ඕපපාතිකව උපදිති. සමහර තිරිසන්ගත සත්වයෝද ඕපපාතිකව උපදිති. කලාතුරකින් මිනිසුන් ඕපපාතිකව උපදින බවද දේශනාවේ සඳහන්ය. ඕපපාතික උපත පිළිනොගැනීම මහත් වූ මිථ්‍යා දෘෂ්ටියකි. ඔවුහු නිරය පිළිනොගනිති. ප්‍රේත අපාය පිළිනොගනිති. දේව ලෝක, බ්‍රහ්ම ලෝක විශ්වාස නොකරති. මව්පියන් නිසා සහ සංවාසයෙන් පමණක්ම දරුවන් උපදින බව සිතති. මැරී උපදින සත්වයෝ නැතැයි සිතීම මෙම මිථ්‍යා දෘෂ්ටියට අයත් බව ධම්ම සංගණී අට්ඨකථාවේ සඳහන් වෙයි.

10..​සම්මගතා සම්මාපටිපන්නා. යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති:

​නිවනට අනුරූප වූ මාර්ගයෙහි ගමන් කරන ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි නැතැයි සිතති. මෙලොවද පරලොවද තමාගේ නුවණින් විශිෂ්ට ලෙස දැනගෙන ලොවට ප්‍රකාශ කිරීමට සමර්ථ වන, සියල්ල දන්නා වූ බුදුවරයෝ ලෝකයේ නැතැයි විශ්වාස කරති. බුදුවරු නොපිළිගැනීම හෙවත් සර්වඥ මුනිවරු නොපිළිගැනීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි

මෙම මිථ්‍යා දෘෂ්ටි සමාදන් වූ සත්වයෝ මරණින් මතු නිරයෙහි උපත ලබති. නැතහොත් තිරිසන් ලෝකයෙහි උපත ලබති. මෙම මිථ්‍යා දෘෂ්ටි අත් නොහැර වාසය කරන අයට ඇත්තේ ගති දෙකක් පමණකි. එනම් තිරිසන් ලෝකය හෝ නිරයයි. ඔවුන් ඒ දෙකෙන් එකක උපත ලබති.