පොත් ලැයිස්තුව

බල විත්තත සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය පඤ්චක නිපාතෝ

පඤ්චිමානි භික්ඛවේ බලානි. කතමානි පඤ්ච: සද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.

​කතමඤ්ච භික්ඛවේ සද්ධාබලං: ඉධ භික්ඛවේ අරියසාවකෝ සද්ධෝ හෝති. සද්දහති තථාගතස්ස බෝධිං: ඉතිපි සෝ භගවා අරහං ....(පෙ).... සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති. ඉදං වුච්චති භික්ඛවේ සද්ධාබලං.

​කතමඤ්ච භික්ඛවේ විරියබලං: ඉධ භික්ඛවේ අරියසාවකෝ ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහාණාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු. ඉදං වුච්චති භික්ඛවේ විරියබලං.

​කතමඤ්ච භික්ඛවේ සතිබලං: ඉධ භික්ඛවේ අරියසාවකෝ සතිමා හෝති: පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ඉදං වුච්චති භික්ඛවේ සතිබලං.

​කතමඤ්ච භික්ඛවේ සමාධිබලං: ඉධ භික්ඛවේ අරියසාවකෝ විවිච්චේව කාමේහි ....(පෙ).... (පඨමං ඣානං ....(පෙ).... දුතියං ඣානං ....(පෙ).... තතියං ඣානං ....(පෙ)....) චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති භික්ඛවේ සමාධිබලං.

​කතමඤ්ච භික්ඛවේ පඤ්ඤාබලං: ඉධ භික්ඛවේ අරියසාවකෝ පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවේ පඤ්ඤාබලං. ඉමානි ඛෝ භික්ඛවේ පඤ්ච බලානීති.

​මහණෙනි, බල ධර්මයෝ පහකි. ඒ පහ කවරේද: සද්ධා බලය, වීර්යය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යි.

​මහණෙනි, සද්ධා බලය යනු කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා සද්ධාවන්ත වෙයි. තථාගතයන් වහන්සේගේ සම්මාසම්බුද්ධත්වය අදහයි: ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහං වන සේක. ගුරු උපදේශ නොමැතිව දතයුතු සියලු ධර්මයන් තමන් වහන්සේම අවබෝධ කර වදාළ බැවින් සම්මාසම්බුද්ධ වන සේක. අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වන බැවින් විජ්ජාචරණසම්පන්න වන සේක. සුන්දර මාවතෙහි වැඩම කළ බැවින් සුගත වන සේක. ලෝකය දැන වදාළ බැවින් ලෝකවිදූ වන සේක. පුරුෂයන් දමනය කිරීමෙහි උත්තරීතර වන බැවින් අනුත්තර පුරිසදම්මසාරථී වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වන බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. තමන් අවබෝධ කළා වූ චතුරාර්ය සත්‍යය ධර්මය අන් අයට අවබෝධ කර වූ බැවින් බුද්ධ වන සේක. රාගාදී කෙලෙස් බිඳ දැමූ බැවින් භගවා වන සේක. මහණෙනි, මෙය සද්ධා බලය යැයි කියනු ලැබේ.

​මහණෙනි, වීර්ය බලය යනු කුමක්ද? මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසද, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසද, ස්ථිර වූ, දැඩි පරාක්‍රම ඇති, කුසල ධර්මයන්හි බර අත්නොහරින (අනික්ඛිත්තධුරෝ) වීර්යයකින් යුක්ත වෙයි. මහණෙනි, මෙය වීර්ය බලය යැයි කියනු ලැබේ.

​මහණෙනි, සති බලය යනු කුමක්ද? මේ බුද්ධ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා සිහියෙන් යුක්ත වෙයි. උතුම් වූ සිහි නුවණින් (සතිනේපක්කේන) සමන්වාගතව, පෙර කරන ලද දෙයද, පෙර කියන ලද දෙයද සිහිකරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි. මහණෙනි, මෙය සති බලය යැයි කියනු ලැබේ.

​මහණෙනි, සමාධි බලය යනු කුමක්ද? මේ බුද්ධ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා රූපාවචර ධ්‍යාන හතරෙන් යුක්ත වෙයි. මෙය සමාධි බලය යැයි කියනු ලැබේ.

​මහණෙනි, ප්‍රඥා බලය යනු කුමක්ද? මේ බුද්ධ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්ත වෙයි; ඇතිවීම හා නැතිවීම හෙවත් උදයවය දකින, නිබ්බේදික වූ (කෙලෙස් නසන විදර්ශනා ප්‍රඥාව), මනාකොට දුක ගෙවා දමන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා බලය යැයි කියනු ලැබේ. මහණෙනි, මේවා පංච බල ධර්මයෝය.