(ඉතිවුත්තකපාලිය - චතුක්ක නිපාතය)
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
මහණෙනි, යම් බ්‍රාහ්මණ ගෘහපති කෙනෙක් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මේවා පූජා කරමින් ඔබලාට උපස්ථාන කරන්නෝ වෙත්නම්, ඔවුහු ඔබලාට බොහෝ උපකාර ඇත්තෝය. මහණෙනි, ඔබලාද බ්‍රාහ්මණ ගෘහපතියන්ට මුල යහපත් වූ, මැද යහපත් වූ, අවසානය යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, සර්ව සම්පූර්ණ වූ, පිරිසිදු වූ ධර්මය දේශනා කරව්. පිරිසිදු සාසන මාර්ග බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරව්. එසේ කරන විට ඔවුන්ට ඔබලාද බොහෝ උපකාර ඇත්තෝ වෙති. මහණෙනි, මෙසේ ඔවුනොවුන් ඇසුරු කොට සතර ඕඝය තරණය කරනු පිණිස, මනාකොට සියලු සසර දුක් ගෙවා දැමීම පිණිස බ්‍රහ්මචරියාව වාසය කරනු ලැබේ.
ස්වාක්ඛාත ගුණය විස්තර කර ඇති වචන:
ආදිකල්‍යාණං: මුල යහපත්ය. සෑම බුද්ධ දේශනාවකම මුල ඉතා යහපත්ය. පේළි හතරකින් යුක්ත වූ ගාථාවක් ගැන විමසා බැලූ විට, එම ගාථාවේ පළමුවන පේළිය මුල යනුවෙන් හඳුන්වයි; දෙවන, තුන්වන පේළි මැද යනුවෙන් හඳුන්වයි; අවසාන පේළිය අග යනුවෙන් හඳුන්වයි. එම ගාථාවල මුල් පේළිය ඉතා යහපත්ය; අයහපතක් වන ආකාරයේ වැරදි ඉගැන්වීමක් එහි නැත. එබැවින් ඒ ගාථා මුල යහපත්ය. බුද්ධ දේශිත සෑම ගාථාවකම දෙවන තුන්වන පේළි යහපත් අර්ථයක් ප්‍රකාශ කරයි. අයහපතක් ප්‍රකාශ නොකරයි. එබැවින් මැද යහපත්ය. ගාථාවේ හතරවෙනි පේළියද යහපත් අර්ථයක්ම ප්‍රකාශ කරයි. අයහපත් අර්ථයක් ප්‍රකාශ නොකරයි. එබැවින් අග යහපත්ය.
මංගල සූත්‍රය වැනි එක් මාතෘකාවක් ගැන ප්‍රකාශ කරන සූත්‍ර දේශනාවක් විමසා බලමු. එම සූත්‍ර දේශනාව දේශනා කිරීමට මූලික වූ කාරණාව, හේතුව හෙවත් නිදානය ඉතා යහපත් වූ එකකි. එබැවින් මුල යහපත්යයි කියනු ලැබේ. සූත්‍ර දේශනාවේ අන්තර්ගත ධර්ම කාරණාවද ඉතා මැනවින් යහපත් වන ආකාරයෙන් දේශනා කොට ඇත. එබැවින් මැද යහපත්ය. එම සූත්‍ර දේශනාව අවසානයේදී බොහෝ දෙනෙකුට යහපතක් සැලසෙයි. අවම වශයෙන් දේශනාව අසා බොහෝ දෙනෙක් සතුටට හෝ පත් වෙති. උපරිම වශයෙන් බොහෝ අය මාර්ගඵල අවබෝධ කර ගනිති. එබැවින් අවසානය හෙවත් නිගමනය ප්‍රතිඵලය යහපත්ය. එම නිසා එක් මාතෘකාවක් ගැන දේශනා කරන ලද සූත්‍ර දේශනා අග යහපත්යයි කියනු ලැබේ. බොහෝ මාතෘකා ගැන විස්තර කරන සූත්‍ර ධර්ම දේශනා ඇත. එම සූත්‍ර දේශනාවලදී පළමුවන මාතෘකාව යහපත් වන බැවින් මුල යහපත් යැයි කියනු ලැබේ; මැද මාතෘකා යහපත් වන බැවින් මැද යහපත්යයි කියනු ලැබේ; අවසාන මාතෘකාව යහපත් වන බැවින් අග යහපත්යයි කියනු ලැබේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල, මැද, අග යහපත් වන ආකාරය
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීල ශික්ෂාවට අයත්ය. සීලය ඉතා යහපත් දෙයක් වන බැවින් සීලයෙන් මුල යහපත්ය.
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සමාධි ශික්ෂාවට අයත්ය. සමාධිය ඉතා යහපත් වන බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සමාධි වශයෙන් මැද යහපත්ය.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ප්‍රඥා ශික්ෂාවට අයත්ය. ඒ ප්‍රඥාව යහපත පිණිස හේතු වන බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අග යහපත් වන්නේය.
සාත්ථං – අර්ථසහිත බව:
බුදුරජාණන් වහන්සේ වදාළ සෑම දේශනාවකම ගැඹුරු අර්ථයක් ප්‍රකාශ කර තිබේ. එනම් මෙලොව යහපත සලසා ගැනීමට උපකාර වන උපදේශයන්ද, පරලොව සුගතිය සලසා ගැනීමට උපකාර වන උපදේශයන්ද, නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය උපදේශයන්ද එහි අන්තර්ගතය. මෙලොව පරලොව යන උභයාර්ථයම ප්‍රකාශ කරන සේක. නිර්වාණය නම් වූ පරමාර්ථයද ප්‍රකාශ කරන සේක.
ව්‍යංජන සහිත බව:
මෙහිදී ව්‍යංජන යනුවෙන් හඳුන්වන්නේ වාක්‍යය යන අර්ථයයි. තථාගතයන් වහන්සේ පරිපූර්ණ වූ වාක්‍යවලින් ධර්ම දේශනා කළ සේක. ගැඹුරු අර්ථයක් සරල වාක්‍යවලින් ප්‍රකාශ කිරීම උන්වහන්සේගේ දේශනා තුළ දක්නට ලැබෙන ඉතා මනහර විලාසයකි.
සම්පූර්ණයෙන්ම පිරිපුන් බව:
බුද්ධ දේශනාව සර්ව සම්පූර්ණය. අඩු යැයි කියා එකතු කිරීමට දෙයක් නැත. බුද්ධ දේශනාව ඉතා පිරිසිදුය; වැඩිය කියා ඉවත් කිරීමට අනවශ්‍ය දෙයක් නැත. අඩු යැයි කියා එකතු කිරීමට දෙයක් නැති බැවින් පරිපූර්ණයි, වැඩිය කියා ඉවත් කිරීමට දෙයක් නැති බැවින් පාරිශුද්ධයි.
බ්‍රහ්මචරියාව:
සම්බුද්ධ දේශනාව තුළින් ශාසන බ්‍රහ්මචරියාවත් මාර්ග බ්‍රහ්මචරියාවත් ප්‍රකාශ කරන සේක. ශාසන බ්‍රහ්මචරියාව යනු බ්‍රහ්මචරිය සීලය ආරක්ෂා කිරීමයි. මාර්ග බ්‍රහ්මචරියාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. බුද්ධ දේශනාව තුළ මේ දෙයාකාර වූ බ්‍රහ්මචරියාවම ප්‍රකාශ වන සේක.
මෙසේ තථාගත ශ්‍රී සද්ධර්මය මුල මැද අග යහපත් වන බැවින්ද, අර්ථ සම්පන්න වන බැවින්ද, ව්‍යංජන සම්පන්න වන බැවින්ද, සර්ව සම්පූර්ණ වන බැවින්ද, පිරිසිදු වන බැවින්ද, ශාසන බ්‍රහ්මචරියාව, මාර්ග බ්‍රහ්මචරියාව ප්‍රකාශ වන බැවින්ද ස්වාක්ඛාත වන සේක.
සූත්‍රයේ අවසාන කොටස
ගිහි ජීවිතයක් ගත කරන උපාසක උපාසිකාවෝ මහා සංඝරත්නයට සිව්පසය පූජා කරමින් උපස්ථාන කරති. උන්වහන්සේලාගේ ශාසනික ගමන් මඟට උපකාර වෙති. පැවිදි භික්ෂූන් වහන්සේලාද එම ගිහි පින්වතුන්ට උපකාර කළ යුතුය. එම උපකාරය ආමිසයෙන් නොකළ යුතුය; ධර්මයෙන්ම උපකාර කළ යුතුය. ඔවුන් වෙත කිරීමට ඇති ශ්‍රේෂ්ඨම උපකාරය ධර්ම දේශනා කිරීම බව බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේදී අවධාරණය කළ සේක. මෙසේ ඔවුනොවුන්ට උපකාර කරමින් ගිහි පැවිදි දෙපාර්ශ්වයම නිවන් මඟ ගමන් කළ යුතු බව තථාගතයන් වහන්සේ පැහැදිලි කළහ.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. එම අර්ථය ගාථාවලින් මෙසේ කියනු ලැබේ:
"සගාරා අනගාරාච,
උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා;
ආරාධයන්ති සද්ධම්මං,
යෝගක්ඛේමං අනුත්තරං."
ගිහි ගෙදර වාසය කරන්නෝද, පැවිද්දෝද, ඔවුනොවුන් ඇසුරු කරගෙන (හෙවත් ඔවුනොවුන්ට උපකාර කරමින්) සද්ධර්මයද අරිහත්වයද නිර්වාණයද සම්පාදනය කරති.
"සාගාරේසු ච චීවරං,
පච්චයං සයනාසනං;
අනාගාරා පටිච්ඡන්ති,
පරිස්සය විනෝදනං."
පැවිද්දෝ ගෘහස්ථ, ගිහි ශ්‍රාවකයන්ගෙන් උවදුරු දුරු කරන්නා වූ චීවර, සේනාසනද පිළිගනිති (සිව්පසයම පිළිගන්නා බව මෙහි අදහසයි).
සුගතං පන නිස්සාය ගහට්ඨා ඝරමේසිනෝ;
සද්දහානෝ අරහතං අරිය පඤ්ඤාය ඣායිනෝ
ආර්ය පුද්ගලයා නිසා ගිහි ගෙදර වාසය කරන ගෘහස්ථයෝ රහතන් වහන්සේලාගේ වචන අදහමින් ප්‍රඥාවෙන් ධ්‍යාන කරති.
"ඉධ ධම්මං චරිත්වාන,
මග්ගං සුගතිගාමීනං;
නන්දිතෝ දේවලෝකස්මිං,
මෝදන්ති කාමකාමිනෝ."
මේ ආත්මභාවයේදී සැපයට මාර්ගය වූ ධර්මයෙහි හැසිර, සතුටු වෙති. දෙව්ලොව කාම සැප සම්පත් කැමති වෙමින්ද සතුටු වෙති.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.