භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
“තයෝ මේ, භික්ඛවේ, ආසවා. කතමේ තයෝ? කාමාසවෝ, භවාසවෝ, අවිජ්ජාසවෝ. ඉමේ ඛෝ, භික්ඛවේ, තයෝ ආසවා”ති.
මහණෙනි, මේ ආශ්‍රවයෝ තිදෙනෙකි. එම ආශ්‍රවයෝ තිදෙනා කවරේද? කාමාශ්‍රවය, භවාශ්‍රවය, අවිජ්ජාසවය. මහණෙනි, මේ ආශ්‍රවයෝ තිදෙනා වෙති.
ආශ්‍රව යනු කුමක්ද?
මහත් වූ කල්දේරමකට ඖෂධ වර්ග යොදා බොහෝ කාලයක් පල්කොට, ඒවා නිසි අයුරින් පෙරාගෙන සකස් කරන ඖෂධ, 'ආශ්‍රව' යන නමින් හඳුන්වනු ලැබේ. උදාහරණයක් ලෙස අභයාශ්‍රව දැක්විය හැකිය. එම ආශ්‍රවයන්ට උපමා ඇති ක්ලේශයෝ හතර දෙනෙකි. එම ක්ලේශයෝ හතර ආශ්‍රව යන නමින් හඳුන්වනු ලබති. එනම් කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව සහ අවිජ්ජා ආශ්‍රවයි. එහෙත් මෙම දේශනාවේදී ආශ්‍රව තුනක් ගැන පමණක් සඳහන් වෙයි. මෙම දේශනාවේ දිට්ඨාශ්‍රවය පිළිබඳව සඳහන් කර නොමැත.
කාමාශ්‍රවය
“කාමසංඛාතෝවා ආසවෝ කාමාසවෝ”. කාම සංඛ්‍යාත ආශ්‍රවය කාමාශ්‍රව නම් වෙයි (ඉතිවුත්තක පාලි අට්ඨකථා). “අත්ථතෝ පන කාමරාගෝ රූපාදී අභිරතීච”. කාමාශ්‍රව යන වචනයෙහි අර්ථය කාමරාගය යන්නයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඇති ආසාව කාමාශ්‍රවයයි. කාමච්ඡන්දය කියා හඳුන්වන්නේ ද මෙයයි.
චක්ඛු විඤ්ඤාණයෙන්: ප්‍රියමනාප වූ රූපයක් දැක, එම රූපය පිළිබඳව නුවණින් තොරව කල්පනා කිරීමෙන් හෙවත් අයෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් රූපය කෙරෙහි කැමැත්ත උපදී. එය කාමාශ්‍රවයයි.
සෝත විඤ්ඤාණයෙන්: ප්‍රියමනාප වූ ශබ්දයක් අසා, අයෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් තොරව කල්පනා කිරීම නිසා ශබ්දය කෙරෙහි ආසාව ඇති වෙයි. එය කාමාශ්‍රවයයි.
ඝාණ විඤ්ඤාණයෙන්: ප්‍රියමනාප වූ සුවඳක් ආඝ්‍රාණය කොට, අයෝනිසෝ මනසිකාරය පැවැත්වීම නිසා ගන්ධකාමය උපදී. එය කාමාශ්‍රවයයි.
ජිව්හා විඤ්ඤාණයෙන්: ප්‍රියමනාප වූ රසයක් විඳීමෙන් හා අයෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් රස කාමය උපදී. එය කාමාශ්‍රවයයි.
කාය විඤ්ඤාණයෙන්: ප්‍රියමනාප වූ ස්පර්ශයක් ලබා අයෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් ස්පර්ශ කාමය උපදී. එය කාමාශ්‍රවයයි.
මනෝ විඤ්ඤාණයෙන්: ප්‍රියමනාප වූ අරමුණක් දැන අයෝනිසෝ මනසිකාරයෙහි යෙදීමෙන් සිතුවිලි කෙරෙහි කාමය උපදී. එය කාමාශ්‍රවයයි.
භවාශ්‍රවය
“රූප අරූප භවේසු ඡන්දරාගෝ, ඣානනිකන්තිච, සස්සත දිට්ඨි සහගතෝ රාගෝ, භව පත්ථනාච භවාසවෝ” (ඉතිවුත්තක පාලි අට්ඨකථා)
රූප අරූප භවයන් කෙරෙහි චන්ද රාගය (තණ්හාව) හෙවත් කැමැත්තෙන් ඇලීමද, ධ්‍යාන කෙරෙහි ඇති ඉතා සියුම් ඇල්මද, ශාස්වත දෘෂ්ටිය මුල්වී ඇතිවන රාගයද, භවය ප්‍රාර්ථනා කිරීමද, භවාශ්‍රවය නම් වෙයි.
අවිජ්ජා ආශ්‍රවය
“චතුසු සච්චේසු අඤ්ඤාණං අවිජ්ජා ආසවෝ නාම”
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම අවිජ්ජා ආශ්‍රවයයි.
පඨම ආසව සූත්‍රයේ ගාථා විග්‍රහය
“සමාහිතෝ සම්පජානෝ - සතෝ බුද්ධස්ස සාවකෝ
ආසවේච පජානාති - ආසවානඤ්ච සම්භවං”
සමාධිගත සිත් ඇති, යහපත් නුවණ ඇති, සිහියෙන් යුක්ත වූ බුද්ධ ශ්‍රාවකයා ආශ්‍රව ද, ආශ්‍රවයන්ගේ සමුදය හෙවත් හටගැනීම ද දැනගනියි.
“යත්ථ චේතා නිරුජ්ඣන්ති - මග්ගඤ්ච ඛයගාමිනං
ආසවානං ඛයා භික්ඛු - නිච්ඡාතෝ පරිනිබ්බුතෝති”
යම් තැනක ඒ ආශ්‍රවයෝ නිරුද්ධ වෙත් නම් එම නිර්වාණය ද, ආශ්‍රව ක්ෂය කරන්නා වූ මාර්ගය ද දැනගනියි. ඒ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන්, ආශාවන් රහිතව පිරිනිවීමට පත්වෙයි.
අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා. මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
ආශ්‍රව සමුදය යනු කුමක්ද?
අයෝනිසෝමනසිකාරය හෙවත් නුවණින් තොරව මෙනෙහි කිරීම ද, අවිද්‍යා ආදී ක්ලේශයන් ද ආශ්‍රව සමුදය යනුවෙන් හඳුන්වයි. ඒවා ආශ්‍රව හටගැනීමට හේතු වෙයි.
“අයෝනිසෝ, භික්ඛවේ, මනසිකරෝතෝ අනුප්පන්නා චේව ආසවා උප්පජ්ජන්ති, උපන්නා ච ආසවා පවඩ්ඪන්ති” (සබ්බාසව සූත්‍රය). මහණෙනි, නුවණින් තොරව මෙනෙහි කරන විට නූපන්නා වූ ආශ්‍රව උපදිති, උපන්නා වූ ආශ්‍රව වර්ධනය වෙති.
“අවිජ්ජා, භික්ඛවේ, පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තියා අන්වදේව අහිරිකං අනොත්තප්පං” (සංයුත්ත නිකාය). මහණෙනි, පව් කිරීමට ලැජ්ජා නැති බව (අහිරික), පව් කිරීමට බය නැති බව (අනොත්තප්ප) සමග උපදින අවිද්‍යාව අකුසල ධර්මයන් කිරීමට මූලික වෙයි, හෙවත් පෙරටු වෙයි. මෙම අටුවා පාඨයන් හා බුද්ධ දේශනා පාඨයන් අනුව ආශ්‍රව සමුදය හෙවත් ආශ්‍රව හටගැනීමට හේතුව පැහැදිලි කරගත හැකිය.
ආශ්‍රව ක්ෂය කරන මාර්ගය කුමක් ද.
ආශ්‍රව ක්ෂය කරන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කාමාශ්‍රවය අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණය වෙයි. භවාශ්‍රවය සහ අවිද්‍යාශ්‍රවය අරිහත් මාර්ගයෙන් ප්‍රහාණය වෙයි.