පොත් ලැයිස්තුව

අසත්පුරිස දාන සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය - පංචක නිපාතය

​(සාවත්ථිනිදානං)

පඤ්චිමානි භික්ඛවේ අසප්පුරිසදානානි. කතමානි පඤ්ච:

මහණෙනි, මේ අසත්පුරුෂ දාන පහකි. ඒ පහ කවරේ ද?

අසක්කච්චං දේති, අචිත්තීකත්වා දේති, අසහත්ථා දේති, අපවිද්ධං දේති, අනාගමනදිට්ඨිකෝ දේති. ඉමානි ඛෝ භික්ඛවේ පඤ්ච අසප්පුරිසදානානි.

සකස් කොට දානය නොදෙයි, ගෞරවයෙන් සලකා දානය නොදෙයි, සියතින් දානය නොදෙයි, ඉවත දමන දෙයක් සේ දානය දෙයි, කර්මය හා කර්මඵලය නොපිළිගෙන දානය දෙයි. මහණෙනි, මේ අසත්පුරුෂ දාන පහයි.

​ධර්මාර්ථ විස්තරය:

​කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත ආදී ගුණධර්මයන්ගෙන් තොර වූ තැනැත්තා අසත්පුරුෂයා ලෙස හඳුන්වනු ලබයි. එම තැනැත්තා දන් දෙන්නේ අසත්පුරුෂ දානයක් සිදුවන ආකාරයෙනි.

  1. ​අසක්කච්චං දානං දේති: සකස් නොකොට දන් දෙයි. (න සක්කරිත්වා සුචිං කත්වා දේති) - සකස් කොට පිරිසිදුව දානය නොදෙයි. (සූත්‍ර අටුවාව)
  2. ​අචින්තිකත්වා දේති: (අචින්තිකාරේන අගාරවේන දේති) - නොසිතා ගෞරව නොකොට දන් දෙයි. (සූත්‍ර අටුවාව) අසත්පුරුෂයා දන් දෙන විට සැලකිල්ලෙන් යුතුව, හිතා බලා, ගෞරවයෙන් යුතුව දානය පූජා කරන්නේ නැත; අගෞරවයෙන් යුතුවම දන් දෙයි.
  3. ​අසහත්ථා දේති: සියතින්ම දානය පූජා නොකරයි. සේවකයන්ට කියා හෝ වෙනත් මිනිසුන්ට කියා හෝ දානය පූජා කරවයි. එය අසත්පුරුෂ දානයකි.
  4. ​අපවිද්ධං දේති: (න නිරන්තරං දේති, අථවා ඡඩ්ඩේතුකාමෝවිය දේති) - අපවිද්ධං දානං දේති යනු, නිරන්තරයෙන්ම දන් නොදෙයි; නැතහොත් ඉවත දමන දෙයක් සේ (කම්මැලි කමින්) දන් දෙයි. සත්පුරුෂයා නිතර නිතර දන් දෙන කෙනෙකි. අසත්පුරුෂයා නිතර නිතර දන් දෙන කෙනෙකු නොවේ.
  5. අනාගමනදිට්ඨිකෝ දේති: සැප විපාක බලාපොරොත්තු නොවී (හෝ කර්මඵලය නොඅදහා) දන් දෙයි. දානය කුසල කර්මයක් බවත් එයින් සැප විපාක ලැබෙන බවත් අසත්පුරුෂයා දන්නේ නැත. එබැවින් ඔහු කර්මය හා කර්මඵලය අදහන්නේ නැතුව දන් දෙයි.