පොත් ලැයිස්තුව

සම්මා කම්මන්ත

star_outline

යහපත් වූ කායික ක්‍රියාවන් සම්මා කම්මන්ත නමින් හඳුන්වනු ලබයි. කායික දුෂ්චරිතයෙන් වැළකීම සම්මා කම්මන්ත නම් වෙයි. සම්මා යනු "සම්මා දිට්ඨිය මුල්වීම" බව මහා චත්තාරීසක සූත්‍රය අනුව පෙර සඳහන් කරන ලදී. අප නිරන්තරයෙන්ම කායික ක්‍රියාවක් කිරීමේදී සම්මා දිට්ඨියෙන් යුතුවම, හෙවත් පින් පව් පිළිබඳ අවබෝධයෙන්, විශ්වාසයෙන් යුතුවම ඒ දෙය කිරීම ඉතා වටී; එවිට කායික පාප ධර්ම සිදු නොවේ.

සම්මා කම්මන්ත යනු කුමක්ද?

සම්මා දිට්ඨිය මුල් වෙයි. කෙසේද? මිථ්‍යා කම්මන්තය මිථ්‍යා කම්මන්තය ලෙසත්, සම්මා කම්මන්තය සම්මා කම්මන්තය ලෙසත් සම්මා දිට්ඨියෙන් දැනගනියි.

මිථ්‍යා කම්මන්ත යනු කුමක්ද? ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, කාමයන්හි වරදවා හැසිරීම—ඒවා මිථ්‍යා කම්මන්තයෝය; හෙවත් ත්‍රිවිධ කාය දුෂ්චරිතයෝය.

සම්මා කම්මන්තය යනු කුමක්ද? සම්මා කම්මන්තය කොටස් දෙකකට බෙදේ; එනම් ලෞකික සම්මා කම්මන්ත සහ ලෝකෝත්තර සම්මා කම්මන්තය වශයෙනි.

1. ලෞකික සම්මා කම්මන්තය

ආශ්‍රව සහිත වූ, පිනට අයත් වන්නා වූ, මතු සැප විපාක ලබා දෙන්නා වූ සම්මා කම්මන්තයක් ඇත. එනම්:

පාණාතිපාතා වේරමණී - ප්‍රාණඝාතයෙන් වැළකීමය,

අදින්නාදානා වේරමණී - සොරකම් කිරීමෙන් වැළකීමය,

කාමේසුමිච්ඡාචාරා වේරමණී - කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය.

(මජ්ඣිම නිකාය, මහා චත්තාරීසක සූත්‍රය)

2. ලෝකෝත්තර සම්මා කම්මන්තය

අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ, මාර්ග අංගයක් වූ සම්මා කම්මන්තය කුමක්ද? එනම් මාර්ග සිත සමඟ යෙදෙන, අනාශ්‍රව සිත සමඟ යෙදෙන, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය වඩන්නා වූ තැනැත්තාගේ සිත තුළින් ත්‍රිවිධ කාය දුෂ්චරිතයන් කෙරෙහි යම්:

  • ආරති - නොඇලීමක් වේද,
  • විරති - වැළකීමක් වේද,
  • පටිවිරති - විශේෂයෙන් වැළකීමක් වේද,
  • වේරමණිය - දුරු කිරීමක් වේද,

එය ලෝකෝත්තර සම්මා කම්මන්තය නම් වෙයි.

මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය

මෙම ලෝකෝත්තර සම්මා කම්මන්තය උපදවා ගන්නා ලද තැනැත්තා මිථ්‍යා කම්මන්තය දුරු කිරීමට උත්සාහ කරයි; සම්මා කම්මන්තය උපදවා ගැනීමට උත්සාහ කරයි. එය ඔහුගේ සම්මාවායාමයයි.

ඔහු සතිමත්ව මිථ්‍යා කම්මන්තය දුරු කරයි; සතිමත්ව සම්මා කම්මන්තය උපදවා ගනියි; මෙය ඔහුගේ සම්මාසතියයි.

සම්මා කම්මන්තය සමඟින් සහජාතව සහ පුරේජාතව සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන එක්ව යෙදෙයි, ගමන් කරයි.