යහපත් වූ සංකල්පනා හෙවත් සිතුවිලි සම්මා සංකප්ප නමින් හඳුන්වනු ලබයි. එහි "සම්මා" යන වචනයටත් අර්ථයක් ඇත. යහපත්, සම්‍යක් ආදී නම් ඒ සඳහා භාවිතා කරන්නෙමු; එහි වරදක් නැත. එහෙත් සම්මා යන වචනයේ නිවැරදිම අර්ථය වන්නේ "සම්මා දිට්ඨිය පෙරටු කොට ඇති" යන්නයි. ඒ බව මජ්ඣිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත:
"සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති"
(සම්මා දිට්ඨිය පූර්වාංගම වෙයි, මුලටම යෙදෙයි.)
"කතංච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති? මිච්ඡාසංකප්පං මිච්ඡාසංකප්පෝති පජානාති, සම්මාසංකප්පං සම්මාසංකප්පෝති පජානාති. සාස්ස හෝති සම්මාදිට්ඨි."
"මහණෙනි, සම්මා දිට්ඨිය කෙසේ පූර්වාංගම වේද? සම්මා දිට්ඨියෙන් යුතුව, මිථ්‍යා සංකල්පය මිථ්‍යා සංකල්පයක් යැයි දැන ගනියි; සම්මා සංකල්පය සම්මා සංකල්පයක් යැයි දැන ගනියි; එසේ දැන ගැනීම ඔහුගේ සම්මා දිට්ඨිය වෙයි."
මිථ්‍යා සංකල්පය (මිච්ඡා සංකප්ප) යනු කුමක්ද?
කාම සංකල්පය, ව්‍යාපාද සංකල්පය, විහිංසා සංකල්පය—මේවා මිථ්‍යා සංකල්ප නම් වේ.
කාම සංකල්පය: රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය යන පඤ්චකාම වස්තූන් පිළිබඳව ඇති වන චේතනා, සිතුවිලි, කල්පනා, සංකල්පනා වේ.
ව්‍යාපාද සංකල්පය: අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මුල් වී ඇති වන තරහව, වෛරය, කෝපය, පළිගැනීම, ඉරිසියාව, එකට එක කිරීම, බද්ධ වෛරය ආදී සංකල්පනා වේ.
විහිංසා සංකල්පය: අන් අයට හිංසා කිරීමට, පීඩා කිරීමට, වද හිංසා කිරීමට ඇති වන සංකල්පනා වේ.