පොත් ලැයිස්තුව

3. අත්ථි හුතං (ආශීර්වාද පතා දෙන දානයෙහි විපාක ඇත)

star_outline

අත්ථි හුතං යනු මහා යාගයේ විපාක ඇතැයි සැලකීමයි. යාගය යනු කුමක්ද? ආශීර්වාද පතා දෙන දානය යාගය නමින් හඳුන්වයි. පුරාතනයේ පටන් මිනිසුන් ආශීර්වාදය පතා නොයෙක් දානමය පිංකම් සිදු කළහ. උපන්දිනය සමරා දන් දුන්නහ; විවාහ සංවත්සරය සමරා දන් දීම සිදු කළහ. ගෙයකට මුල්ගල් තැබීම, උළුවස්ස තැබීම, වහලය තැබීම, පදිංචි වීම වැනි අවස්ථාවලදී ද දන් දීම සිදු කළහ. සීල සමාදානයෙහි යෙදෙන පිරිස් වෙත ද දන්සල් පැවැත්වීම මේ කොටසට අයත් වේ.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර බොහෝ අය බ්‍රහ්මයා උදෙසා පූජා පැවැත්වූහ. ඒවා "හුතං" යන වචනයෙන් අදහස් කරන ලදී. දෙවියන් උදෙසා පවත්වන ලද පූජාවන් ද ඒ නමින් හඳුන්වන ලදී. තථාගතයන් වහන්සේ ලොව පහළ වීමෙන් පසු එම පූජාවේ සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප නොකරම එයට නව අර්ථකථනයක් ඉදිරිපත් කළහ. ආශීර්වාද පතා යමක් දෙන විට එම පූජාව හැඳින්වීම සඳහා බුදුරජාණන් වහන්සේ "හුතං" යන වචනය භාවිතා කරන ලදී.

"යෝ ච වස්සසතං ජන්තු - අග්ගිං පරිචරේ වනේ

ඒකඤ්ච භාවිතත්තානං -භාවිතත්තානං මුහුත්තමපි

පූජයේ සා යේව පූජනා සෙය්‍යෝ - යඤ්චෙ වස්සසතං හුතං."

යන ධම්මපදයේ සඳහන් වෙන ගාථාවෙන්, පුරාණ බ්‍රාහ්මණවරුන් විසින් දෙවියන් උදෙසා කරන ලද පූජා "හුතං" යනුවෙන් හඳුන්වන ලද බවත්, වසර සියයක් එබඳු පූජා පැවැත්වීමටත් වඩා, භාවිත ආත්මභාව ඇති, ශීලාදී ගුණ සම්පන්න වූ, දුර සිට වුවත් යමක් ගෙන විත් පිදීමට සුදුසු වූ ආහුණෙය්‍ය ගුණ ඇති උතුමන්ට මොහොතක් වුවත් දන් දීම සුදුසු වන බව දේශනා කළහ.

එබැවින් ආශීර්වාද පතා දෙන දානයත්, ආහුණෙය්‍ය හෙවත් යමක් දුර සිට ගෙනවිත් පිදීමට සුදුසු අය උදෙසා කරන පූජාවත් උතුම් බව (විපාක ඇති බව) විශ්වාස කිරීම මෙම සම්මා දිට්ඨියයි.