පොත් ලැයිස්තුව

සම්මා වාචා

star_outline

​යහපත් වචන, නිවැරදි වචන සම්මාවාචා නමින් හඳුන්වයි. සම්මා දිට්ඨිය මුල් වන බැවින් සම්මාවාචා වන බව පෙර සඳහන් කරන ලදී. සම්මා යන වචනයේ අර්ථය "සම්මා දිට්ඨිය මුල් වීමම" යන්නයි.

​සම්මා දිට්ඨිය මුලින්ම යෙදෙයි, පූර්වාංගම වෙයි. ඒ කෙසේද? සම්මා දිට්ඨිය තුළින් මිථ්‍යාවාචා මිථ්‍යාවාචා ලෙස දැන ගනියි; සම්මාවාචා සම්මාවාචා ලෙස දැන ගනියි. එය ඔහුගේ සම්මා දිට්ඨියයි.

​මිථ්‍යාවාචා යනු කවරේද? බොරු කීම (මුසාවාදා), කේලාම් කීම (පිසුණාවාචා), පරුෂ වචන කීම (පරුෂාවාචා), හිස් වචන කීම (සම්ඵප්පලාපා) මිථ්‍යාවාචාය.

​සම්මාවාචා යනු කවරේද? සම්මාවාචා දෙයාකාර වේ; එනම් ලෞකික සම්මාවාචා සහ ලෝකෝත්තර සම්මාවාචා යනුවෙනි.

​1. ලෞකික සම්මාවාචා

​ආශ්‍රව සහිත වූ, පිනට අයත් වන්නා වූ, මතු සැප විපාක ගෙන දෙන්නා වූ සම්මාවාචා ඇත. (එනම් සතර ආකාර වචී දුෂ්චරිතයෙන් වැළකී සත්පුරුෂ ලෙස කතා කිරීමයි.)

​2. ලෝකෝත්තර සම්මාවාචා

​ආර්ය චිත්තය සමඟ යෙදෙන, අනාශ්‍රව චිත්තය සමඟ යෙදෙන, ආර්ය මාර්ගය හා සම්බන්ධ වූ, ආර්ය මාර්ගය වඩන තැනැත්තාගේම සතර ආකාර වූ වචී දුෂ්චරිතයන්ගෙන් යම්:

​ආරති - වැළකීම හෙවත් නොඇලීමක් වේද,

​විරති - වචී දුෂ්චරිතයන්ගෙන් වැළකීමක් වේද,

​පටිවිරති - විශේෂයෙන් වැළකීමක් වේද,

​වේරමණී - දුරු කිරීමක් වේද,

​එය ලෝකෝත්තර සම්මාවාචාය.

සම්මාවාචා මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය

​මෙම ලෝකෝත්තර සම්මාවාචා උපදවා ගත් තැනැත්තා වීර්යයෙන් යුතුව මිථ්‍යාවාචා දුරු කරයි; වීර්යයෙන් යුතුව සම්මාවාචා උපදවා ගනියි. (එය ඔහුගේ සම්මාවායාමයයි.)

​ඔහු සතිමත්ව මිථ්‍යාවාචා දුරු කරයි; සතිමත්ව සම්මාවාචා උපදවා ගනියි. එය ඔහුගේ සම්මාසතියයි.

​මේ අනුව සම්මාවාචා සමඟ පෙර පසු නොවී, සහජාතව සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන යෙදෙයි, ගමන් කරයි.