පොත් ලැයිස්තුව

අප්පස්සුත සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතය

​මහණෙනි, මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් දක්නට ලැබෙති. කවර හතර දෙනෙක්ද?

  1. අප්පස්සුතෝ සුතේන අනුප්පන්නෝ
  2. ​අප්පස්සුතෝ සුතේන උප්පන්නෝ
  3. ​බහුස්සුතෝ සුතේන අනුප්පන්නෝ
  4. ​බහුස්සුතෝ සුතේන උප්පන්නෝ

​සුතයෙන් නූපන්නාවූ අල්පස්සුත පුද්ගලයාය.

​සුතයෙන් උපන්නාවූ අල්පස්සුත පුද්ගලයාය.

​සුතයෙන් නූපන්නාවූ බහුස්සුත පුද්ගලයාය.

​සුතයෙන් උපන්නාවූ බහුස්සුත පුද්ගලයාය.

​සුතයෙන් නූපන් අල්පස්සුත පුද්ගලයා

​මෙම පුද්ගලයා පිළිබඳව සූත්‍ර දේශනාවෙහි සඳහන් වන කාරණා වෙත අවධානය යොමු කරනු ලැබේ. මෙම සසුන තුළ යම්කිසි පුද්ගලයෙකුට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ නවාංග ශාස්තෘශාසනය ස්වල්ප වශයෙන් අසා ඇත. ඔහු ස්වල්ප වශයෙන් අසා ඇති එම ධර්මයෙහි "න අත්ථ මඤ්ඤාය" - අර්ථය දැන නොගෙන, "න ධම්ම මඤ්ඤාය" - ධර්මය දැන නොගෙන, "න ධම්මානුධම්ම පටිපන්නෝ හෝති" - ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි ගමන් නොකරයි. මෙම පුද්ගලයා සුතයෙන් නූපන් අල්පස්සුත පුද්ගලයාය.

​මෙම දේශනාවට අනුව, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ස්වල්ප වශයෙන් අසා ඇති, එහෙත් එම ධර්මයෙහි අර්ථ හෙවත් ධර්ම කාරණා විස්තර වශයෙන් නොදන්නා, ධර්මය නොදන්නා හෙවත් ත්‍රිපිටක පාලි ධර්මය නොදන්නා වූ, නවලෝකෝත්තර ධර්මය අවබෝධ කර ගැනීම පිණිස පිළිවෙත් නොපුරන්නාවූ පුද්ගලයා සුතයෙන් නූපන් අල්පස්සුත පුද්ගලයාය.

​නවාංග ශාස්තෘශාසනය

​බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී ධර්මය හැඳින්වීම සඳහා භාවිතා කළ ප්‍රධාන නම් දෙකක් තිබුණි. ධර්ම විනය යන වචනයෙන්ද, එසේම නවාංග ශාස්තෘශාසනය යන නමින්ද තථාගත දේශනාව හඳුන්වන ලදී. දැනට පවතින "ත්‍රිපිටකය" යන ව්‍යවහාරය තුන්වන ධර්ම සංගායනාවේදී යොදන ලද නාමයකි.

​නවාංග ශාස්තෘශාසනය මෙසේය:

  1. ​සුත්තං: විභංග දෙක, නිද්දේසය, ඛන්ධක, පරිවාර, සුත්ත නිපාත, මංගල සූත්‍රය, රතන සූත්‍රය, නාලක සූත්‍රය, තුවටක සූත්‍රය ආදී සූත්‍රද, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර නාමයෙන් හඳුන්වන සියලුම බුද්ධ දේශනාවන් "සුත්තං" යනුවෙන් හඳුන්වනු ලබයි.
  2. ​ගෙයියං: ගාථා සහිත වූ සියලු සූත්‍ර දේශනා "ගෙයියං" යනුවෙන් හඳුන්වනු ලබයි.​
  3. වෙයියාකරණං: අභිධර්ම පිටකයද, ගාථා නොමැති සූත්‍රද, දම්සක් පැවතුම් සූත්‍රය ආදී දේශනාවන් "ව්‍යාකරණ" (වෙයියාකරණ) යන නමින් හඳුන්වනු ලබයි.
  4. ගාථං: ධම්මපදය, තේරී ගාථා, නිපාතයේ සූත්‍ර නාමය නොමැති දේශනාද "ගාථා" යන නමින් හඳුන්වනු ලබයි.​
  5. උදානං: තථාගතයන් වහන්සේ විසින් සතුට ප්‍රකාශ කරමින් දේශනා කරන ලද දේශනා "උදාන" යන නමින් හඳුන්වනු ලබයි. උදානපාලිය මෙයට උදාහරණයකි.
  6. ඉතිවුත්තකං: "වුත්තං හේදං භගවතා" යනුවෙන් සඳහන් ඉතිවුත්තක පාලියේ එන සියලු දේශනා "ඉතිවුත්තක" යන නමින් හඳුන්වනු ලබයි. ඉතිවුත්තක යන වචනයේ තේරුම "මෙබඳු වචනයක් කියන ලදී" යන්නයි.​
  7. ජාතකං: බෝධිසත්වයන් වහන්සේගේ පුරාණ කතා පිළිබඳ සඳහන් වන ජාතක පාලිය "ජාතක" යන නමින් හඳුන්වනු ලබයි.​
  8. අබ්භූතධම්මං: ආශ්චර්යවත් වූ, අද්භූත වූ දේවල් පිළිබඳව සඳහන් වෙන සියලු දේශනා "අබ්භූත" යන නමින් හඳුන්වනු ලබයි.​
  9. වේදල්ලං: චූල වේදල්ල, මහා වේදල්ල, සම්මා දිට්ඨික, මහා පුණ්ණම ආදී සූත්‍ර "වේදල්ල" යන නාමයෙන් හඳුන්වනු ලබයි.

පළමුවෙන්ම සඳහන් වන සුතයෙන් නූපන්නා වූ අල්පස්සුත පුද්ගලයා නවාංග ශාස්තෘශාසනය නමින් හඳුන්වන ධර්මය ස්වල්ප වශයෙන් අසා ඇති බව පෙර සඳහන් කරන ලදී. ඔහු ධර්මය ස්වල්පයක් හෝ අසා තිබුණද, අසන ලද ධර්මයෙහි අර්ථය අවබෝධ කරගෙන නැත. අර්ථය තේරුම් නොගැනීම යනු අට්ඨකතාව අනුව ධර්ම කාරණා නිවැරදිව වටහා නොගැනීමයි. අට්ඨකථාවලින් තොරව ධර්මය ඉගෙන ගන්නා සමහර අය ඇත. ඔවුන් සමහර ධර්ම වචනවලට ධර්මානුකූල නොවන අදහස් ප්‍රකාශ කරති. එය අනාගතයේදී සම්බුද්ධ ශාසනයේ විනාශය පිණිස හේතු වෙයි. ඔවුන්ගේ ධර්ම විග්‍රහයන් අන්ධයන් පිරිසක් විසින් කරන ලද අලියා විග්‍රහ කිරීම වැනිය. සූත්‍ර දේශනා, විනය දේශනා, අභිධර්ම දේශනා ඉතා මැනවින් ඉගෙන ගැනීමට නම් අට්ඨකථා ග්‍රන්ථ පරිශීලනය කළ යුතුය. ඒ තුළින් ථෙරවාදී සම්ප්‍රදාය නොබිඳී, නොකැඩී අනාගත පරපුරට දායාද වන්නේය. පුද්ගලික අදහස් හා මතවාද ධර්මයට එකතු වීම බොහෝ දුරට අඩුවී යන්නේය. තමාට නොතේරෙන සෑම වචනයකටම අලුත් තර්ක කථනයක් ඉදිරිපත් කිරීමකින් තොරව අටුවාවට අනුව විස්තර කර ගැනීම ශාසනයේ ඉදිරි පැවැත්මට ඉතා වැදගත්ය.

​මෙම පුද්ගලයා ධර්මය දැන නොගනී. මෙහි ධර්මය යනු ත්‍රිපිටක බුද්ධ වචනයයි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා මුළු ත්‍රිපිටකයම දත යුතුය යන අදහස වැරදි වෙයි. ස්වල්පයක් වුවත් නිසියාකාරව අර්ථ සහිතව ධර්මය දැනගන්නේ නම්, එය ධර්මාවබෝධයට උපකාර වෙයි. ඔහු ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙහි නොයෙදෙන කෙනෙකි.

​ධම්ම යනු නිර්වාණයට නමකි. අනුධම්ම යනු එම නිර්වාණය අවබෝධ කිරීමට සුදුසු වන පිළිවෙතයි. ධම්මානුධම්ම පටිපන්න යනු නිවන් මාර්ගයෙහි ගමන් කිරීමයි. එහෙත් මෙම පුද්ගලයා එම මාර්ගයෙහි ගමන් නොකරන කෙනෙකි

සුතයෙන් උපන් අල්පස්සුත පුද්ගලයා...

​මෙම දෙවැනි පුද්ගලයා ලෙස හඳුන්වා දෙන්නේ අල්පස්සුත මහරහතන් වහන්සේය. එය අටුවා පාඨයන්ගෙන් සනාථ වෙයි.

​"පඨම වාරයේ පනෙත්ථ අප්පස්සුත දුස්සීලෝ කථිතෝ, දුතියේ අප්පස්සුත ඛීණාසවෝ කථිතෝ, තතියේ බහුස්සුත දුස්සීලෝ, චතුත්ථේ බහුස්සුත ඛීණාසවෝ..." (පළමුවෙන්ම අල්පස්සුත දුස්සීලයා කියන ලදී. දෙවනුව අල්පස්සුත රහතන් වහන්සේ කියන ලදී. තෙවනුව බහුස්සුත දුස්සීලයා කියන ලදී. සිව්වනුව බහුශ්‍රැත රහතන් වහන්සේ කියන ලදී.)

​එම රහතන් වහන්සේ හඳුන්වන නාම කීපයක් සූත්‍ර දේශනාවේ සඳහන් කර ඇත. මේ බුද්ධ ශාසනය තුළ සමහර පුද්ගලයෝ නවාංග ශාස්තෘශාසනය අල්ප වශයෙන් අසා ඇත. ස්වල්ප වශයෙන් ධර්මශ්‍රවණය කර ඇති ඔහු අර්ථය දැනගෙන (අටුවාව දැනගෙන), ධර්මය (පෙළ දහම) දැනගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙයි. මෙම දෙවන පුද්ගලයා ස්වල්ප ප්‍රමාණයකින් ධර්මය දැනගෙන ඇති රහතන් වහන්සේය.

​සුතයෙන් නූපන් බහුශ්‍රැත පුද්ගලයා...

​මෙම පුද්ගලයාද ශාස්තෘශාසනය බොහෝ කොට අසා ඇත. එහෙත් එම ධර්මයෙහි අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයෙදෙති. ඔහු තුන්වන පුද්ගලයාය. ඔහු බහුශ්‍රැත දුස්සීලයා යනුවෙන් අටුවාවෙහි දක්වා ඇත.

​සුතයෙන් උපන් බහුශ්‍රැත පුද්ගලයා...

​මෙම පුද්ගලයා නවාංග ශාස්තෘශාසනය බොහෝ කොට අසා ඇත. එම ධර්මයෙහි අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙයි. ඔහු සුතයෙන් උපන් බහුශ්‍රැත පුද්ගලයා යැයි කියනු ලැබේ.