අංගුත්තර නිකාය චතුක්ක නිපාතය
"චත්තාරෝ මේ, භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ චත්තාරෝ? අනුසෝතගාමී පුග්ගලෝ, පටිසෝතගාමී පුග්ගලෝ, ඨිතත්තෝ පුග්ගලෝ, තිණ්ණෝ පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ. කතමෝ ච, භික්ඛවේ, අනුසෝතගාමී පුග්ගලෝ? ඉධ, භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ කාමේ ච පටිසේවති, පාපඤ්ච කම්මං කරෝති. අයං වුච්චති, භික්ඛවේ, අනුසෝතගාමී පුග්ගලෝ."
මහණෙනි, පුද්ගලයෝ හතර දෙනෙක් මේ ලෝකයෙහි දක්නට ලැබෙති. කවර හතර දෙනෙක්ද යත්?
- අනුසෝතගාමී පුද්ගලයාය.
- පටිසෝතගාමී පුද්ගලයාය.
- ඨිතත්ත පුද්ගලයාය.
ඕඝය තරණය කොට, මෙතෙරින් එතෙරට ගිය, නිවන තුළ සිටින ඛීණාශ්‍රව බ්‍රාහ්මණයාය.
මහණෙනි, අනුසෝතගාමී (ගඟේ පහළට ගමන් කරන) පුද්ගලයා යනු කවරේද? මෙලොව සමහර පුද්ගලයෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම වස්තූන් පරිභෝග කරයි; පස් පව් සිදු කරයි. මෙම පුද්ගලයා අනුසෝතගාමී පුද්ගලයා යැයි කියනු ලැබේ.
"කතමෝ ච, භික්ඛවේ, පටිසෝතගාමී පුග්ගලෝ? ඉධ, භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ කාමේ න පටිසේවති, පාපඤ්ච කම්මං න කරෝති, සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අස්සුමුඛෝපි රුදමානෝ පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති. අයං වුච්චති, භික්ඛවේ, පටිසෝතගාමී පුග්ගලෝ."
මහණෙනි, පටිසෝතගාමී (ගඟේ ඉහළට ගමන් කරන) පුද්ගලයා යනු කවුද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් පරිභෝග නොකරයි, පස් පව් නොකරයි. කායික දුකින් යුතුව, මානසික දොම්නසින් යුතුව, කඳුළු පිරුණු මුහුණු ඇතිව, අඬමින් පරිපූර්ණ ලෙස, පිරිසිදු ලෙස බ්‍රහ්මචරියාව සම්පූර්ණ කරයි. මහණෙනි, මේ පටිසෝතගාමී පුද්ගලයා යැයි කියනු ලැබේ.
ධර්මාර්ථ විස්තරය
මෙම දේශනාවේදී තථාගතයන් වහන්සේ පුද්ගලයෝ හතර දෙනකු පිළිබඳව දේශනා කළහ.
ඉන් පළමු වන පුද්ගලයා වන්නේ අනුසෝතගාමී පුද්ගලයාය. සෝත යනු සැඩ පහරට නමකි. වේගයෙන් පහළට ගලා ගෙන යන ජල පහරක් මින් අදහස් කරයි. පහළට ගලාගෙන යන ජල පහරට සමාන වූ පුද්ගලයා අනුසෝතගාමී යන නමින් හඳුන්වනු ලබයි. මෙහිදී ජල පහරක් දිගේ පහළට යන පුද්ගලයා යනුවෙන් අදහස් කරන්නේ, කෙලෙස් නම් වූ සැඩ පහරෙහි එම කෙලෙසුන්ට හසු වී කෙලෙස් අනුව ගමන් කරන තැනැත්තාය. ඔහු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම සම්පත්තීන් විඳින කෙනෙකි. එසේම පාප ධර්මයන්හි නිරත වී කටයුතු කරන, පස් පව් සිදු කරන කෙනෙකි. සසර ගමන දීර්ඝ වන විදිහට කටයුතු කරන කෙනෙකු වන බැවින්, කෙලෙස් වර්ධනය කරන කෙනෙකු වන බැවින් ඔහු අනුසෝතගාමී යන නමින් හඳුන්වනු ලබයි.
පටිසෝතගාමී පුද්ගලයා: පහළට ගලාගෙන යන ගංගාවක ඉහළට ගමන් කරන තැනැත්තා හෙවත් උඩුගං බලා පීනා යන තැනැත්තා පටිසෝතගාමී යන නමින් හඳුන්වනු ලබයි. ඔහු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම සම්පත්තියෙන් අනුභව නොකරන කෙනෙකි. එවත් කාම සම්පත්තීන් භුක්ති නොවිඳින කෙනෙකි; කාමය ඇසුරු නොකරන කෙනෙකි. ඔහු පාප ධර්මයන්ද සිදු නොකරයි. කායිකව දුක් වේදනා දරාගෙන, මානසික දුක් වේදනා දරාගෙන, කඳුළු පිරුණු මුහුණින් යුතුව, අඬමින් යුතුව පරිපූර්ණ වූ, පිරිසිදු වූ බ්‍රහ්මචරියාවෙහි හැසිරෙයි. හෙවත් ඉතා දුක සේ කෙලෙස් යටපත් කරගෙන නිවන් මඟ ගමන් කරයි. එම පුද්ගලයා පටිසෝතගාමී පුද්ගලයා යැයි කියනු ලැබේ. ඔහු කෙලෙස්වලට විරුද්ධ වූ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙකි, කෙලෙස් නැසීම පිණිස කටයුතු කරන කෙනෙකි, නිවන් මග ගමන් කරන කෙනෙකි.
යම් කෙනෙක් ගිහි ජීවිතයක් ගත කළත්, තමාට නියමිත පංචසීල ප්‍රතිපත්ති ධර්මය මනාව ආරක්ෂා කරමින් පංච දුෂ්චරිතයන්ගෙන් වැළකී නිවන් මඟ ගමන් කරන්නේ නම්, ඔහුද පටිසෝතගාමී පුද්ගලයකු බව සඳහන් කළ යුතුය.
ඨිතත්ත පුද්ගලයා
මෙම පුද්ගලයා පිළිබඳව සූත්‍ර දේශනාවෙහි මෙසේ දක්වා තිබේ:
"කතමෝ ච, භික්ඛවේ, ඨිතත්තෝ පුග්ගලෝ? ඉධ, භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති, තත්ථ පරිනිබ්බායී, අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. අයං වුච්චති, භික්ඛවේ, ඨිතත්තෝ පුග්ගලෝ."
මහණෙනි, ඨිතත්ත පුද්ගලයා යනු කවුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් පංච ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතිකව, සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි පිරිනිවන් පාන ස්වභාවයෙන් යුතුවෙයි. එම බඹ ලොවින් නැවත කාම ලෝකයට නොයන ස්වභාවය ඇත්තේ වෙයි. මහණෙනි, මේ ඨිතත්ත පුද්ගලයා යැයි කියනු ලැබේ.
ධර්මාර්ථ විස්තරය
බුදුරජාණන් වහන්සේ මෙම දේශනාවේදී ඨිතත්ත පුද්ගලයා පිළිබඳව දේශනා කළ සේක. ඨිතත්ත යනුවෙන් හඳුන්වන්නේ අනාගාමී පුද්ගලයාය. ඔහු කාම ලෝකයට සත්වයා ඇද බැඳ තබන ඕරම්භාගීය සංයෝජන පහ ප්‍රහාණය කළ කෙනෙකි.
සක්කාය දිට්ඨිය: රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය තුළ හෝ ඉන් එකක ආත්මයක් ඇත යන වැරදි අදහස සක්කාය දිට්ඨියයි.
විචිකිච්චාව: යනු බුද්ධ, ධම්ම, සංඝ, ත්‍රිශික්ෂා, පටිච්චසමුප්පාද, අතීත, අනාගත, වර්තමාන බව යනාදී කරුණු පිළිබඳව උපදින සැකයයි.
සීලබ්බත පරාමාසය: යනු මිථ්‍යා දෘෂ්ටි පදනම් කරගත් සීලව්‍රතයන් දැඩිව ග්‍රහණය කරගැනීමයි.
කාමරාගය: රූපාදී කාම වස්තු කෙරෙහි ඇති ඇල්ම හා ඡන්දය කාමරාග යන නමින් හඳුන්වනු ලබයි.
ව්‍යාපාදය: අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ගැටෙන ස්වභාවය ව්‍යාපාදයයි.
මෙම සංයෝජන පහ නිසා සත්වයෝ කාම ලෝකයෙහි රැඳී සිටිති. කාම ලෝකයට ඇද බැඳ තබන අර්ථයෙන් මෙම සංයෝජන "ඕරම්භාගීය" යන නමින් හඳුන්වනු ලැබේ. මෙහි සඳහන් වන ඨිතත්ත පුද්ගලයා මෙම සංයෝජන පහ ප්‍රහාණය කළ කෙනෙකි; මරණින් මතු ඕපපාතිකව සුද්ධාවාස බඹලොව උපදින කෙනෙකි; නැවත කාම ලෝකයට නොයන කෙනෙකි.
ඕඝ තරණය කොට සිටි, එම නිසාම පරතෙර නම් වූ නිර්වාණයෙහි පිහිටි බ්‍රාහ්මණයා
මෙම සූත්‍රයෙහි සඳහන් වන හතරවන පුද්ගලයා ඕඝ තරණය කරන ලද, පරතෙරට ගොස් නිර්වාණයෙහි පිහිටි බ්‍රාහ්මණයාය. මින් අදහස් කරන්නේ රහතන් වහන්සේය. එම පුද්ගලයා පිළිබඳ සූත්‍ර දේශනාවෙහි මෙසේ සඳහන්ය:
"කතමෝ ච, භික්ඛවේ, පුග්ගලෝ තිණ්ණෝ පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ? ඉධ, භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවේ, පුග්ගලෝ තිණ්ණෝ පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ. ඉමේ ඛෝ, භික්ඛවේ, චත්තාරෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි"න්ති.
මහණෙනි, ඕඝ තරණය කළාවූ, පරතෙරට ගියාවූ, නිවනෙහි පිහිටියාවූ බ්‍රාහ්මණයා කවරේද? මහණෙනි, මෙලොව සමහර පුද්ගලයෙක් ආශ්‍රව ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මෙලොවදීම තමාම විශිෂ්ඨ ඥානයෙන් දැනගෙන, ප්‍රත්‍යක්ෂ කොට එයට එළැඹ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයා ඕඝ තරණය කරන ලද, පරතෙරට ගිය, නිවනෙහි පිහිටි ඛීණාශ්‍රව බ්‍රාහ්මණයා යැයි කියනු ලැබේ.
ධර්මාර්ථ විස්තරය
හතරවන පුද්ගලයා රහතන් වහන්සේය. උන්වහන්සේ කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ යන සතර ඕඝයන් තරණය කළ කෙනෙකි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තුන් කෙරෙහි පවතින්නා වූ ඡන්දරාගය කාම ඕඝය යන නමින් හඳුන්වනු ලබයි. රූප, අරූප ධ්‍යාන කෙරෙහි පවතින සියුම් ඇලීමත්, රූප-අරූප බ්‍රහ්ම ලෝක කෙරෙහි පවතින තණ්හාවත් භව ඕඝය යන නමින් හඳුන්වනු ලබයි. සියලු මිථ්‍යා දෘෂ්ටි දිට්ඨි ඕඝය යන නමින් හඳුන්වනු ලබයි. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොවීම අවිද්‍යා ඕඝය යන නමින් හඳුන්වනු ලබයි. ඕඝ යනු වේගයෙන් පහළට ගලාගෙන යන ප්‍රබල ජල සැඩ පහරකට නමකි.
මහත් වූ ජල ප්‍රවාහයකට "ඕඝ" යන නම භාවිතා කරන්නේ විශාලත්වය සහ පහළට ඇදගෙන යාම යන අර්ථ දෙකෙන් බව අටුවාව පැහැදිලි කරයි. (ඕඝ තරණ සූත්‍ර අටුවාව, සංයුත්ත නිකාය, දේවතා සංයුත්තය).
පෙර සඳහන් කරන ලද කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ක්ලේශයෝ හතරද මහත් වූ ක්ලේශ රාශීන්ය. සත්වයා පහළට, එනම් තිරිසන්, ප්‍රේත, අසුර ආදී අපායට ඇදගෙන යන්නේය. එබැවින් එම ක්ලේශයෝ "ඕඝ" යන නම ලබති.
"දිට්ඨේව ධම්මේ" යනු මේ ජීවිතයේදීම යන අර්ථය ඇති වචනයකි. "සයං අභිඤ්ඤා" යනු තමා විසින්ම විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කොට, "සච්ඡිකත්වා" යනු සාක්ෂාත් කොට, "උපසම්පජ්ජ" යනු එයට පැමිණ, "විහරති" යනු වාසය කරයි. "පාරගතෝ" යනු පරතෙර ගියේ හෙවත් නිර්වාණයට පැමිණි
"යේ කේචි කාමේසු අසඤ්ඤතා ජනා - අවීතරාගා ඉධ කාමභෝගිනෝ
පුනප්පුනං ජාතිජරූපගාහිනෝ - තණ්හාධිපන්නා අනුසෝතගාමිනෝ"
මෙලොව කාමයන් කෙරෙහි සංවර නොවූ, අවීතරාගී වූ, කාමභෝගී වූ, නැවත නැවතත් ජාති, ජරා, මරණවලට පැමිණෙන්නා වූ, තණ්හාවට බැසගත් යම් ජන කෙනෙක් ඇත්ද, ඔහු අනුසෝතගාමී යන නමින් හඳුන්වනු ලබය.
"තස්මා හි ධීරෝ ඉධුපට්ඨිතාසතී - කාමේ ච පාපේ ච අසේවමානෝ
සහාපි දුක්ඛේන ජහෙය්‍ය කාමේ - පටිසෝතගාමීති තමාහු පුග්ගලං"
එම නිසා මෙලොව එළැඹ සිටි සිහිය ඇති, ප්‍රඥාවන්ත වූ තැනැත්තා වස්තු කාමයන්ද, පංච දුෂ්චරිත නම් පාපයන්ද ඇසුරු නොකරන්නේ, දුකින් වුවද කාමයන් අතහැර සිටින්නේය. ඒ පුද්ගලයා පටිසෝතගාමී හෙවත් උඩුගම් බලා යන කෙනෙක් යැයි කියති.
"යෝ වේ කිලේසානි පහාය පඤ්ච - පරිපුණ්ණසේඛෝ අපහානධම්මෝ
චේතෝවසිප්පත්තෝ සමාහිතින්ද්‍රියෝ - ස වේ ඨිතත්තෝති නරෝ පවුච්චති"
යම් ආර්ය ශ්‍රාවකයෙක් ඒකාන්තයෙන්ම පංච ඕරම්භාගීය ක්ලේශ දුරුකොට, පරිපූර්ණ වූ හික්මීම ඇත්තේ, නොපිරිහෙන ස්වභාවය ඇත්තේ, චිත්ත වශී බවට පත් වූයේ, සමාහිත ඉන්ද්‍රිය ඇත්තේ වෙයිද, ඒ ආර්ය ශ්‍රාවකයා ඒකාන්තයෙන් "ඨිතත්ත" යයි කියනු ලැබේ.
"පරෝවරා යස්ස සමෙච්ච ධම්මා - විධූපිතා අත්ථගතා න සන්ති
ස වේදගූ වුසිතබ්‍රහ්මචරියෝ - ලෝකන්තගූ පාරගතෝති වුච්චතී"ති
යම් කෙනෙකු විසින් උස් පහත් කුසල අකුසල ධර්ම නුවණින් පසක් කොට නසන ලද්දේ නම්, බ්‍රහ්මචරියා වාසය නිමා කරන ලද්දේ නම්, සිව්මාර්ග ඥානයෙන් ලෝකයෙන් එතෙර වී පරතෙරට ගියේ යැයි කියනු ලැබේ.