පොත් ලැයිස්තුව

අනුග්ගහිත සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය - පඤ්චක නිපාතෝ

පඤ්චහි භික්ඛවේ අංගේහි අනුග්ගහිතා සම්මාදිට්ඨි චේතෝවිමුත්තිඵලා ච හෝති, චේතෝවිමුත්තිඵලානිසංසා ච, පඤ්ඤාවිමුත්තිඵලා ච හෝති, පඤ්ඤාවිමුත්තිඵලානිසංසා ච. කතමේහි පඤ්චහි:

ඉධ භික්ඛවේ සම්මාදිට්ඨි සීලානුග්ගහිතා ච හෝති, සුතානුග්ගහිතා ච හෝති, සාකච්ඡානුග්ගහිතා ච හෝති, සමථානුග්ගහිතා ච හෝති, විපස්සනානුග්ගහිතා ච හෝති.

​ඉමේහි ඛෝ භික්ඛවේ පඤ්චහි අංගේහි අනුග්ගහිතා සම්මාදිට්ඨි චේතෝවිමුත්තිඵලා ච හෝති, චේතෝවිමුත්තිඵලානිසංසා ච, පඤ්ඤාවිමුත්තිඵලා ච හෝති, පඤ්ඤාවිමුත්තිඵලානිසංසා චාති.

​මහණෙනි, කරුණු පහකින් අනුග්‍රහ ලබන ලද සම්මා දිට්ඨිය චේතෝවිමුක්ති ඵලය කොට ඇත, චේතෝවිමුක්ති ආනිසංස කොට ඇත, ප්‍රඥාවිමුක්ති ඵලය කොට ඇත, ප්‍රඥාවිමුක්ති ආනිසංස කොට ඇත. කවර පහකින්ද?

​මහණෙනි, මේ ශාසනයෙහි සම්මා දිට්ඨිය සීලයෙන් අනුග්‍රහ ලබන ලද්දේ වෙයි, සුතයෙන් අනුග්‍රහ ලබන ලද්දේ වෙයි, සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන ලද්දේ වෙයි, සමථ භාවනාවෙන් අනුග්‍රහ ලබන ලද්දේ වෙයි, විදර්ශනා භාවනාවෙන් අනුග්‍රහ ලබන ලද්දේ වෙයි.

​මහණෙනි, මේ පස් අංගයෙන් අනුග්‍රහ ලබන ලද සම්මා දිට්ඨිය චේතෝවිමුක්ති ඵලය කොට ඇත, චේතෝවිමුක්ති ආනිසංස කොට ඇත, ප්‍රඥාවිමුක්ති ඵලය කොට ඇත, ප්‍රඥාවිමුක්ති ආනිසංස කොට ඇත.

​ධර්මාර්ථ විස්තරය

​සම්මා දිට්ඨිය යනු නිවැරදි දැකීමයි. එහි ප්‍රභේද රාශියක් ඇත.

1.. කර්මය හා කර්ම ඵලය පිළිබඳ අවබෝධය කම්මස්සකතා සම්මා දිට්ඨියයි.

2..චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය චතුසච්ච සම්මා දිට්ඨියයි.

3..සමථ භාවනා පිළිබඳ අවබෝධය සමථඥාන සම්මා දිට්ඨියයි. 4..විදර්ශනා භාවනාව පිළිබඳ අවබෝධය විපස්සනාඥාන සම්මා දිට්ඨියයි.

5..ලෝකෝත්තර මාර්ගය ලැබූ තැනැත්තාට ඇති අවබෝධය මාර්ගඥාන සම්මා දිට්ඨියයි. 6..ලෝකෝත්තර ඵලය ලැබූ තැනැත්තාට ඇති අවබෝධය ඵලඥාන සම්මා දිට්ඨියයි.

මෙම දේශනාවේදී මෙම සම්මා දිට්ඨි අතරින් විපස්සනාඥාන සම්මා දිට්ඨිය විස්තර කෙරෙයි. ඒ බව අට්ඨකථාවේ සඳහන් වන "සම්මා දිට්ඨීති විපස්සනා සම්මා දිට්ඨි" (සම්මා දිට්ඨිය යනු විදර්ශනා සම්මා දිට්ඨියයි) යන පාඨයෙන් සනාථ වෙයි. විදර්ශනා සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන්නා වූ ධර්මතා පහක් තිබේ:

1..​සීලානුග්ගහිතා ච:

සීලයෙන් අනුග්‍රහ ලබන්නේය. සීලවන්ත බව සම්මා දිට්ඨිය දියුණු කර ගැනීමට උපකාර වෙයි. ගස් ආදිය පැළවීමට පොළොව උපකාර වන්නේ යම්සේද, සම්මා දිට්ඨිය වර්ධනය වීමට සීලය උපකාර වන්නේ එසේමය. ගෘහස්ථයන්ට පංචසීලය සම්මා දිට්ඨිය වර්ධනය වීමට උපකාර වෙයි. පැවිදි ස්වාමීන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සතර සංවර සීලයම, සම්මා දිට්ඨිය වර්ධනය කර ගැනීමට උපකාර වෙයි.

2..​සුතානුග්ගහිතා ච:

මෙහි සුතය යනු බහුශ්‍රැත බවයි. ඒ බව අට්ඨකථාවෙහි දක්වා තිබේ. මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහි බහුශ්‍රැත බව යනු කුමක්දැයි ඉතා පැහැදිලිව දක්වා ඇත:

"බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ... ආදි කල්‍යාණං මජ්ඣේ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. තථාරූපානං ධම්මානං බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ." (සේක සූත්‍රය මජ්ඣිම නිකාය)

බොහෝ කොට ධර්මය අසන ලද්දේ වෙයි. ධර්මය දරන ලද්දේ වෙයි. දරන ලද ධර්මය රැස් කරගෙන තබාගෙන සිටියි. මුල යහපත් වූද, මැද යහපත් වූද, අග යහපත් වූද, අර්ථ සම්පන්න වූ, ව්‍යංජන සම්පන්න වූ, සර්වසම්පූර්ණ වූ, පිරිසිදු වූ ශාසන බ්‍රහ්මචරියාව (නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය) ප්‍රකාශ වන්නා වූ සද්ධර්මය බොහෝ කොට අසා ඇත. දරා ඇත, රැස් කරගෙන තබාගෙන සිටියි. මෙය බහුශ්‍රැත බවයි. ධර්මය පිළිබඳ ඥානය, ධර්මය පිළිබඳ නුවණ, ධර්මය පිළිබඳව බොහෝ කොට ඉගෙන ගෙන තිබීම බහුශ්‍රැත බවයි. එය සම්මා දිට්ඨිය දියුණු වීමට මහත් සේ උපකාර වන්නේය.

කර්මය හා කර්මඵලය පිළිබඳව ධර්මය තුළින් ඉගෙන ගෙන තිබීම කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇති කරගැනීමට උපකාර වෙයි. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ධර්මය තුළින් ඉගෙන ගෙන තිබීම චතුසච්ච සම්මා දිට්ඨිය ඇති කරගැනීමට උපකාර වෙයි. සමථ භාවනා වඩන කෙනෙකු ධර්මය තුළින් සමථ භාවනා වඩන ආකාරය මනාකොට ඉගෙන ගත යුතුය; එම ඉගෙනීම සමථඥාන සම්මා දිට්ඨිය ලැබීමට උපකාර වෙයි. විදර්ශනා භාවනා වඩන කෙනෙකු විදර්ශනාවට අවශ්‍ය වන ස්කන්ධ, ධාතු, ආයතන පිළිබඳවද, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදිය පිළිබඳවද ධර්මය තුළින් ඉගෙන ගෙන තිබිය යුතුය; එය විපස්සනාඥාන සම්මා දිට්ඨිය ලබා ගැනීමට උපකාර වෙයි.

3..​සාකච්ඡානුග්ගහිතා ච:

ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබීම. ධර්මය පිළිබඳව දැන ඉගෙන ගත් අය සමඟ සාකච්ඡා කළ යුතුය. එය සම්මා දිට්ඨිය දියුණු වීමට බොහෝ සේ උපකාර වෙයි. "ස්වාමීනි, කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? වරද කුමක්ද? නිවැරදි දෙය කුමක්ද? කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද?" මෙසේ සාකච්ඡා කිරීමෙන් කර්මය හා කර්මඵලය පිළිබඳ බොහෝ දැනුමක් ඇති කරගත හැකිය. දුක්, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය පිළිබඳ සාකච්ඡා කිරීම චතුසච්ච සම්මා දිට්ඨියට උපකාර වන්නේය. සමථ භාවනාව පිළිබඳව සාකච්ඡා කිරීම සමථඥාන සම්මා දිට්ඨියට උපකාර වන්නේය. විදර්ශනා භාවනාව සහ ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය ආදිය පිළිබඳ සාකච්ඡා කිරීම විදර්ශනා සම්මා දිට්ඨිය ලැබීමට උපකාර වන්නේය.

4..​සමථානුග්ගහිතා ච:

සමථ භාවනාවෙන් අනුග්‍රහ ලැබීම. පංච නීවරණයන්ගෙන් ගැවසී ගත්තා වූ සිත අසංවර වෙයි. සමථ භාවනාවක් වැඩීමෙන් පංච නීවරණ ධර්මයන් යටපත් කළ හැකිය. එවිට චිත්ත සමාධියක්ද ලැබෙයි. තථාගතයන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ සමථ භාවනා සූත්‍රයේදී, "මහණෙනි, සමාධිය වඩන්න; සමාධිගත වූ භික්ෂුව යථාර්ථය දකින්නේය" යනුවෙන් දේශනා කළහ. යථාර්ථය දැකීම යනු සම්මාදිට්ඨියයි. සමාධිමත් සිතක් ඇති කර ගැනීම යථාර්ථය දැකීමට හෙවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ස්වභාවයන් තේරුම් ගැනීමට මහත් සේ පිටුවහලක් වන්නේමය.

5..​විපස්සනානුග්ගහිතා ච:

විදර්ශනාවෙන් අනුග්‍රහ ලැබීම. විදර්ශනා යනු විශේෂ දැකීමයි. සාමාන්‍ය ලෝකයා සත්ත්වයා, පුද්ගලයා, ආත්මය, ස්ත්‍රිය, පුරුෂයා, ගවයා, එළුවා, අලියා ආදී වශයෙන් සම්මුතියෙන්ම දකිති. එසේ සම්මුතියෙන් දකින්නා වූ සෑම දෙයක්ම නාමරූප ධර්ම වශයෙන් දැකීම, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීම විදර්ශනාව තුළින් උගන්වනු ලබයි. පවතින දෙය පවතින ආකාරයෙන්ම දැකීම නිවැරදි සම්මා දිට්ඨියයි. එබැවින් විදර්ශනාව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී වශයෙන් ලොව පවතින ධර්මයන් දැකීමට උපකාර වෙයි; සම්මා දිට්ඨිය දියුණු වීමට එය හේතු වෙයි.