පොත් ලැයිස්තුව

අනුබුද්ධ සූත්‍රය

star_outline

​ අඞ‍්ගුත‍්තරනිකායො චතුක‍්කනිපාතො පඨමො පණ‍්ණාසකො භණ‍්ඩගාමවග‍්ගො

මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි රටේ භණ්ඩගාමයෙහි වැඩ සිටින සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ "මහණෙනි" කියා භික්ෂූන් අමතා වදාළ සේක. "ස්වාමීනී" යනුවෙන් ඒ භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්හ.

​"චතුන්නං භික්ඛවේ ධම්මානං අනනුබෝධා අප්පටිවේදා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මම චේව තුම්හංච. කතමේසං චතුන්නං?"

​"මහණෙනි, ධර්මතා හතරක් අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේධ නොකිරීම නිසා, මමද ඔබලාද මෙසේ දීර්ඝ කාලයක් සංසාරයෙහි භවයෙන් භවයට දිව ගියෙමු, නැවත නැවත පැමිණීමෙන් ඇවිදින ලද්දෙමු."

​එම ධර්මතා හතර කවරේද?

ආර්ය වූ සීලය.

ආර්ය වූ සමාධිය.

ආර්ය වූ ප්‍රඥාව.

ආර්ය වූ විමුක්තිය.

​"මහණෙනි, ඒ ආර්ය වූ සීලය අවබෝධ කරන ලදී, ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ සමාධිය අවබෝධ කරන ලදී, ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ කරන ලදී, ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ විමුක්තිය අවබෝධ කරන ලදී, ප්‍රත්‍යක්ෂ කරන ලදී. භව තණ්හාව සිඳින ලදී. භව නෙත්තිය (හෙවත් බව රැහැන, බව එකතු කර බැඳ තබන රැහැන) ක්ෂය කරන ලදී. දැන් මතු පුනර්භවයක් හෙවත් නැවත බවයක ඉපදීමක් නැත."

ධර්මාර්ථ විස්තරය

​බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දේශනාවේදී, ධර්මතා හතරක් අවබෝධ නොකිරීම නිසා තථාගතයන් වහන්සේත් මහා සංඝරත්නයත් සසර දිව ගිය බවත්, හැසිරුණු බවත් දේශනා කළහ. එම දේශනාවේ ඇති පාලි වචන කීපයක් පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන්නෙමු:

​අනනුබෝධා: අවබෝධ නොකිරීම, නොදැනීම.

​අප්පටිවේදා: ප්‍රත්‍යක්ෂ නොකිරීම.

​දීර්ඝ වූ සංසාරය:

​අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු සත්වයාට සසර ගමන අති දීර්ඝය. මෙම සසර ගමනෙහි පටන්ගත් කෙළවරක් දක්නට නොලැබේ. අප සියලු දෙනාම මැරෙමින් ඉපදෙමින් අති දීර්ඝ වූ සංසාර ගමනක පැමිණියෙමු. ඒ සසර ගමනේදීත් බොහෝ වාර ගණනක් සතර අපායෙහි වාසය කරන ලද බව ථෙරවාදී බෞද්ධ පිළිගැනීමයි.

​"චත්තාරෝ අපායා සකගේහදිසා" - සතර අපාය තමාගේ නිවස හා සමාන බව අටුවාචාරීහු ප්‍රකාශ කළහ. එයට හේතුව වන්නේ බොහෝ සත්වයන් අකුසල් සිදු කරන බැවින් බොහෝ අවස්ථාවලදී නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ සහ අසුර අපායේ ඉපදීමට සිදුවීමයි. සත්වයන් කුසල ධර්ම සිදුකරන වාර ගණන ඉතා අඩුය.

​එබැවින් සුගතියේ ඉපදීමද අඩුවෙන් දක්නට ලැබේ; අපායන්හි ඉපදීම බහුලව දක්නට ලැබෙයි.

සන්ධාවිතං යනු සසර දිවීමයි. අති දීර්ඝ වූ සංසාරයෙහි භවයෙන් භවයට ගමන් කිරීම සසර දිවීම යනුවෙන් හඳුන්වනු ලබයි.

​සංසරිතං යනු සසරෙහි හැසිරීමයි. මරණයට පත්වෙන සත්වයා මරණින් මතු නැවත නැවත සසරට පැමිණීම සිදුවෙයි. එය සංසාරයෙහි හැසිරීම යන නමින් හඳුන්වනු ලබයි.

​ආර්ය වූ සීලය යනු මාර්ගඵල හා සම්බන්ධ වන්නාවූ ලෝකෝත්තර සීලයයි. මගඵල ලාභීන්ගේ සීලය මින් අදහස් කරයි.

ආර්ය වූ සමාධිය යනු මාර්ගඵලලාභීන් තුළ පවතින ලෝකෝත්තර වූ සමාධියයි.

ආර්ය වූ ප්‍රඥාව යනුද මාර්ගඵලලාභීන් සතු ප්‍රඥාවයි.

ආර්ය විමුක්තිය යනු ඵලය හඳුන්වන නාමයකි. සෝතාපත්ති ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරහත් ඵලය නිසා ඇතිවන කෙලෙසුන්ගෙන් නිදහස් වීම ආර්ය විමුක්තිය යන නමින් හඳුන්වනු ලබයි.

​අපි මෙහිදී මාර්ගඵල නොලැබූ කෙනෙක් විසින් පුරුදු පුහුණු කළ යුතු සීල, සමාධි, ප්‍රඥාවන් පිළිබඳව විමසා බලමු.

​සීල ශික්ෂාව

​සීලය යනු හික්මීමට නමකි. කයත් වචනයත් සංවර කර ගැනීම සීලයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන නමින් සීලය දේශනා කළ සේක.

​බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම සම්මාවාචා යන නමින් හඳුන්වයි. එම අකුසල හතරෙන් වැළකී වාසය කිරීමම වචනයෙන් සීලවන්ත වීමයි.

​ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම සම්මාකම්මන්ත යන නමින් හඳුන්වයි. එය කය සිල්වත් කර ගැනීමයි.

​ජීවත්වීම උදෙසා ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන් සිදු නොකරමින් රැකියාවක් කිරීම සම්මාආජීවයයි.

​සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන මාර්ගාංග තුනෙන් යුක්ත වීම සීලය යන නමින් හඳුන්වන බව මේ විස්තර තුළින් අපට වටහා ගත හැකිය.

උපන්නානංවා පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය විරියං ආරභති. උපන්නා වූ පාපක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස වීර්යය කරයි. උපන්නා වූ පාපක අකුසල ධර්මයන් යනු මේ මොහොතේ සිත තුළ ක්‍රියාත්මකව පවතින ලෝභ, ද්වේෂ, මෝහයන්ට කියන නමකි. යම්කිසි අවස්ථාවකදී සිත තුළ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ක්‍රියාත්මක වන්නේ නම්, එම අවස්ථාවේදී එය ප්‍රහාණය කිරීම පිණිස වීර්යය කළ යුතුය.

​ලෝභය ඇති වූ අවස්ථාවලදී පළමුවෙන්ම ලෝභයේ ආදීනව මෙනෙහි කළ යුතුය; එවිට තදංග වශයෙන් හෙවත් තාවකාලිකව ලෝභය යටපත් වීමට පත්වෙයි. සමථ භාවනාවක් වඩා සිත එකඟ කර ගැනීමට වීර්ය කළ යුතුය. සමථ භාවනාවක් තුළින් සිත එකඟ කර ගැනීමෙන්, සමාධිමත් කර ගැනීමෙන් ලෝභය විෂ්කම්භන ලෙස යටපත් වෙයි; එය බලවත් වූ යටපත් වීමකි. කවදා හෝ දවසක අරිහත් මාර්ග ඥානයෙන් සම්පූර්ණ ලෝභයම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ යුතුය. සමුච්ඡේද යනු සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීමයි.

​කාම වස්තූන් කෙරෙහි ඇති ලෝභය අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණය වෙයි. රූප අරූප ධ්‍යාන හා සබැඳී රූපරාග, අරූපරාග යන ලෝභය අරිහත් මාර්ගයෙන් ප්‍රහාණය වෙයි.

​ලෝභයේ ආදීනව සලකන ආකාරයද මෙහිදී ඉතා වැදගත්ය. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාරයට ලෝභයේ ආදීනව මෙනෙහි කළ යුතුය.