පොත් ලැයිස්තුව

අනණ සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතය

​ඒ කාලයේ අනාථපිණ්ඩික සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර, එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත්තාවූ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ:

​"චත්තාරි මානි ගහපති සුඛානි අධිගමනීයානි ගිහීනා කාමභෝගිනා කාලේන කාලං සමයේන සමයං උපාදාය. කථමානි චත්තාරි?

අත්ථි සුඛං, භෝග සුඛං, අනණ සුඛං, අනවජ්ජ සුඛං."

​ගෘහපතිතුමනි, කාමභෝගී ගිහියන් විසින් කලින් කල, හේතු ඇති වූ කල්හි ලැබිය යුතු මේ සැප හතරකි. එම හතර කවරේද?

01.අත්ථි සුඛය,

02.භෝග සුඛය,

03. අනණ සුඛය,

04. අනවජ්ජ සුඛය යනු ඒ හතරයි.

​අත්ථි සුඛය යනු කුමක්ද?

​"කතමඤ්ච ගහපති අත්ථිසුඛං? ඉධ ගහපති කුලපුත්තස්ස භෝගා හොන්ති උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සේදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා. සෝ භෝගා මේ අත්ථි උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සේදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධාති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සෝමනස්සං. ඉදං වුච්චති ගහපති අත්ථිසුඛං."

​අත්ථි සුඛය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ:

ගෘහපතිතුමනි, අත්ථි සුඛය යනු කුමක්ද? ගෘහපතිතුමනි, මේ ලෝකයෙහි කුලපුත්‍රයෙකුට නැගී සිටීමේ වීර්යයෙන් ලැබූ, බාහු බලයෙන් වර්ධනය කරගත්තා වූ, දහඩිය වගුරුවා සොයා ගත්තා වූ, ධාර්මික වූ, ධර්මයෙන් ලැබුවා වූ භෝගයෝ ඇත. ඔහු "මට නැගී සිටීමේ වීර්යයෙන් ලැබුවා වූ, බාහු බලයෙන් වර්ධනය කරගත්තා වූ, දහඩිය වගුරුවා උපයාගත්තා වූ, ධාර්මික වූ, ධාර්මිකව ලබා ගත්තා වූ භෝග ඇත" යි සැපය ලබයි, සතුට ලබයි. ගෘහපතිතුමනි, මෙය අත්ථි සුඛයැයි කියනු ලැබේ.

කතමඤ්ච ගහපති භෝගසුඛං? ඉධ ගහපති කුලපුත්තෝ උට්ඨානවිරියාධිගතේහි භෝගේහි බාහාබලපරිචිතේහි සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි ධම්මලද්ධේහි භෝගේ ච භුඤ්ජති, පුඤ්ඤානි ච කරෝති. සෝ උට්ඨානවිරියාධිගතේහි භෝගේහි බාහාබලපරිචිතේහි සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි ධම්මලද්ධේහි භෝගේ ච භුඤ්ජාමි පුඤ්ඤානි ච කරෝමීති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සෝමනස්සං. ඉදං වුච්චති ගහපති භෝගසුඛං.

​ගෘහපතිතුමනි, භෝග සුඛය යනු කුමක්ද?

ගෘහපතිතුමනි, මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් නැගී සිටීමේ වීර්යයෙන් යුතුව ලැබූ, බාහු බලයෙන් වර්ධනය කරගත්තා වූ, දහඩිය වගුරුවා උපයාගත්තා වූ, ධාර්මික වූ, ධර්මයෙන් ලද්දා වූ භෝග පරිභෝග කරයි, පින්ද කරයි. ඔහු "නැගී සිටීමේ වීර්යයෙන් උපයාගත්තා වූ, බාහු බලයෙන් වර්ධනය කරගත්තා වූ, දහඩිය වගුරුවා ධාර්මිකව, ධර්මය තුළින් සොයාගත්තා වූ භෝග සම්පත් පරිභෝග කරමි, පින්ද කරමි" යනුවෙන් සැපය ලබයි, සතුට ලබයි. ගෘහපතිතුමනි, මෙය භෝග සුඛයැයි කියනු ලැබේ.

​සටහන:

වෙහෙස මහන්සි වී උපයා සපයාගත් ධාර්මික භෝග සම්පත් පරිභෝග කරමින්, තමා සතු ධාර්මික ධනයෙන් පින් කරමින් වාසය කරන තැනැත්තාට උපදින සැපය භෝග සුඛයයි.

අනණ සුඛය යනු කුමක්ද?

​අනණ යනු ණය නොවීමයි. ණය නොවී ජීවත් වීමද මහත් වූ සැපයකි. කලින් කල වරින් වර ණය නැති ජීවිතයක් ගත කිරීම තුළින් මහත් වූ සැපයක් ලැබිය හැකිය.

​එම සැපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ:

​"කතමඤ්ච ගහපති අනණසුඛං? ඉධ ගහපති කුලපුත්තෝ න කස්සචි කිඤ්චි ධාරේති අප්පං වා බහුං වා. සෝ න කස්සචි කිඤ්චි ධාරේමි අප්පං වා බහුං වාති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සෝමනස්සං. ඉදං වුච්චති ගහපති අනණසුඛං."

​ගෘහපතිතුමනි, අනණ සුඛය යනු කුමක්ද? ගෘහපතිතුමනි, මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් කිසිවෙකුට ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නොදරයි. ඔහු "මම කිසිවෙකුට ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නොදරමි" යි සැපය විඳියි, සතුට ලබයි. ගෘහපතිතුමනි, මෙය අනණ සුඛයැයි කියනු ලැබේ.

අනවජ්ජ සැපය යනු කුමක්ද?

​"නිද්දෝසෝ අනවජ්ජෝස්මි උප්පජ්ජන සුඛං අනවජ්ජ සුඛං නාම" යන අටුවා පාඨයෙන් නිර්දෝස වෙමි, වැරදි නැති කෙනෙක් වෙමි යනුවෙන් සිතන විට උපදින සැපය අනවජ්ජ සුඛය යනුවෙන් හඳුන්වනු ලබයි. ත්‍රිවිධ දුශ්චරිතයෙන් තොර වූ තැනැත්තා ලබන්නා වූ මහත් වූ සැපය මේ නමින් හඳුන්වයි. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කළහ:

කතමඤ්ච ගහපති අනවජ්ජසුඛං? ඉධ ගහපති අරියසාවකෝ අනවජ්ජේන කායකම්මේන සමන්නාගතෝ හෝති, අනවජ්ජේන වචීකම්මේන සමන්නාගතෝ හෝති, අනවජ්ජේන මනෝකම්මේන සමන්නාගතෝ හෝති. සෝ අනවජ්ජේන කායකම්මේන සමන්නාගතෝ, අනවජ්ජේන වචීකම්මේන සමන්නාගතෝ, අනවජ්ජේන මනෝකම්මේන සමන්නාගතෝති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සෝමනස්සං. ඉදං වුච්චති ගහපති අනවජ්ජසුඛං.

​ගෘහපතිතුමනි, අනවජ්ජ සුඛය යනු කුමක්ද? ගෘහපතිතුමනි, මේ ලෝකයෙහි ආර්ය ශ්‍රාවකයා නිවැරදි වූ කායකර්මයෙන් යුක්ත වෙයි, නිවැරදි වූ වචීකර්මයෙන් යුක්ත වෙයි, නිවැරදි වූ මනෝකර්මයෙන් යුක්ත වෙයි. ඔහු "නිවැරදි වූ කායකර්මයෙන් යුක්ත කෙනෙක් වෙමි, නිවැරදි වූ වචීකර්මයෙන් යුක්ත කෙනෙක් වෙමි, නිවැරදි වූ මනෝකර්මයෙන් යුක්ත කෙනෙක් වෙමි" කියා සැපය විඳින්නේය, සතුට විඳින්නේය. ගෘහපතිතුමනි, මෙය අනවජ්ජ සුඛය යැයි කියනු ලැබේ.

උතුම්ම සැපය අනවජ්ජ සුඛයයි.

​මෙම දේශනාවේදී තථාගතයන් වහන්සේ විසින් කාමභෝගී ගිහියන් විසින් ලැබිය යුතු සැප හතරක් පිළිබඳව දේශනා කරන ලදී.

කාමභෝගී යනු වත්ථුකාමේ ච කිලේසකාමේ ච පරිභුඤ්ජන්තේන කාමභෝගිනා... රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන වස්තු කාමයත්, එම වස්තු කාමය මුල් වී හටගන්නා වූ කෙලෙස් නම් වූ ක්ලේශ කාමයත් පරිභෝග කරන තැනැත්තා කාමභෝගී යන නමින් හඳුන්වනු ලැබේ. මෙය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් සඳහා කියන නමකි. එබඳු අය විසින් ලැබිය යුතු සැප හතරක් පිළිබඳව මෙම දේශනාවේදී පැහැදිලි කරන ලදී.

1. ​මා හට ධාර්මික වූ භෝග සම්පත් ඇතැයි ලබන්නා වූ සතුට අත්ථි සුඛය යන නමින් හඳුන්වයි. එය ගිහියෙකු විසින් ලැබිය යුතු පළමුවන සැපයයි.

2. මා විසින් ධාර්මිකව සොයාගන්නා ලද භෝගයන් පරිභෝග කරමි, පින් දහම් ද සිදුකරමී යන සතුට ගිහියෙක් විසින් ලැබිය යුතු සැපයකි. එය භෝග සුඛයයි.

3. ගිහි ජීවිතයක් ගත කරන අය කලින් කල වරින් වර ණය නැතුවම ජීවත්වීමටද උත්සාහ කළ යුතුය. "මම කිසිවෙකුට ස්වල්ප ණයක් හෝ මහත් ණයක් හෝ නැත" යනුවෙන් සිතන විට ලැබෙන්නා වූ සැපය අනණ සුඛය යන නමින් හඳුන්වනු ලබයි.

4. "මම නිර්දෝෂී පුද්ගලයෙක් වෙමි, මම වැරදි නොකරන පුද්ගලයෙක් වෙමි" මෙසේ සිතන විට ඇතිවන්නා වූ සැපය අනවජ්ජ සැපයයි.

​මෙම සැපයන් අතරින් අනවජ්ජ සැපය ශ්‍රේෂ්ඨ වූද උතුම් වූද සැපය වෙයි. අනවජ්ජ සැපයෙන් සොළොස් කලාවෙන් පංගුවක් තරම්වත් සෙසු සැපයන් නොවටී.

​දේශනාවේ අවසාන කොටස...

"ඉමානි ඛෝ ගහපති චත්තාරි සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභෝගිනා කාලේන කාලං සමයේන සමයං උපාදායාති."

​ගෘහපතිතුමනි, කාමභෝගී ගිහියා විසින් කලින් කලට, කාලයෙන් කාලයට මේ සැප හතර ලබාගත යුතුය යනුවෙන් දේශනා කළ සේක.

​අනණං සුඛං ඤත්වාන අථෝ අත්ථිසුඛං සරේ,

භුඤ්ජං භෝගං සුඛං මච්චෝ තතෝ පඤ්ඤා විපස්සති.

​අනණ සුඛය දැන, යළිත් අත්ථි සුඛය සිහි කරන්නේය. භෝග සුඛය පරිභෝග කරන මිනිසා, නැවත නුවණින් විමසා බලන්නේය.

​විපස්සමානෝ ජානාති උභෝ භෝගේ සුමේධසෝ,

අනවජ්ජසුඛස්සේතං කලං නාග්ඝති සෝළසින්ති

​සුන්දර වූ ප්‍රඥා ඇති මිනිසා විශේෂයෙන්ම බලන්නේ සැප දෙක දැනගනී. අත්ථි සුඛ ආදී සැප තුන අනවජ්ජ සුඛයේ සොළොස්වන කලාව තරම්වත් නොවටී.