අංගුත්තර නිකාය
පඤ්චක නිපාතෝ
න තාව භික්ඛවේ අකුසලස්ස සමාපත්ති හෝති, යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු. යතෝ ච ඛෝ භික්ඛවේ සද්ධා අන්තරහිතා හෝති, අස්සද්ධියං පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හෝති.
මහණෙනි, කුසල ධර්මයන් කෙරෙහි යම්තාක් කල් සද්ධාව පහළ වී එළැඹ සිටීද, එතෙක් කල් අකුසල ධර්මයන්ට සමවැදීම (පත්වීම) සිදු නොවෙයි. මහණෙනි, යම් කලෙක ශ්‍රද්ධාව අතුරුදහන් වෙයිද, අස්සද්ධාව (ශ්‍රද්ධාව නැතිකම) සිතෙහි නැඟී සිටියිද, එකල්හි අකුසලයන්ගේ සමාපත්තිය සිදුවෙයි.
න තාව භික්ඛවේ අකුසලස්ස සමාපත්ති හෝති, යාව හිරි පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු. යතෝ ච ඛෝ භික්ඛවේ හිරි අන්තරහිතා හෝති, අහිරිකං පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හෝති.
මහණෙනි, යම්තාක් කල් කුසල ධර්මයන් කෙරෙහි හිරිගුණය (පවට ලැජ්ජාව) එළැඹ සිටීද, එතෙක් කල් අකුසලයන්ට පත්වීමක් සිදු නොවෙයි. යම් කලෙක හිරි ගුණය අතුරුදහන් වෙයිද, අහිරිකය (පවට ලැජ්ජා නැතිකම) නැඟී සිටියිද, එවිට අකුසලයන්ට පත්වීම සිදුවෙයි.
න තාව භික්ඛවේ අකුසලස්ස සමාපත්ති හෝති යාව ඔත්තප්පං පච්චුපට්ඨිතං හෝති කුසලේසු ධම්මේසු. යතෝ ච ඛෝ භික්ඛවේ ඔත්තප්පං අන්තරහිතං හෝති, අනොත්තප්පං පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හෝති.
මහණෙනි,
යම්තාක් කල් කුසල ධර්මයන් කෙරෙහි ඔත්තප්ප ගුණය (පවට භය) එළැඹ සිටීද, එතෙක් කල් අකුසලයන්ට පත්වීමක් සිදු නොවෙයි. යම් කලෙක ඔත්තප්ප ගුණය අතුරුදහන් වෙයිද, අනොත්තප්පය (පවට භය නැතිකම) නැඟී සිටියිද, එවිට අකුසලයන්ට පත්වීම සිදුවෙයි.
න තාව භික්ඛවේ අකුසලස්ස සමාපත්ති හෝති යාව විරියං පච්චුපට්ඨිතං හෝති කුසලේසු ධම්මේසු. යතෝ ච ඛෝ භික්ඛවේ විරියං අන්තරහිතං හෝති, කෝසජ්ජං පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හෝති.
මහණෙනි, යම්තාක් කල් කුසල ධර්මයන් කෙරෙහි වීර්යය එළැඹ සිටීද, එතෙක් කල් අකුසලයන්ට පත්වීමක් සිදු නොවෙයි. යම් කලෙක වීර්යය අතුරුදහන් වෙයිද, කෝසජ්ජය (කුසීත බව) නැඟී සිටියිද, එවිට අකුසලයන්ට පත්වීම සිදුවෙයි.
න තාව භික්ඛවේ අකුසලස්ස සමාපත්ති හෝති යාව පඤ්ඤා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු. යතෝ ච ඛෝ භික්ඛවේ පඤ්ඤා අන්තරහිතා හෝති, දුප්පඤ්ඤා පරියුට්ඨාය තිට්ඨති, අථ අකුසලස්ස සමාපත්ති හෝතීති.
මහණෙනි, යම්තාක් කල් කුසල ධර්මයන් කෙරෙහි ප්‍රඥා ගුණය එළැඹ සිටීද, එතෙක් කල් අකුසලයන්ට පත්වීමක් සිදු නොවෙයි. යම් කලෙක ප්‍රඥා ගුණය අතුරුදහන් වෙයිද, දුප්ප්‍රාඥ බව (ප්‍රඥාව නැතිකම) නැඟී සිටියිද, එවිට අකුසලයන්ට පත්වීම සිදුවෙයි.
ධර්මාර්ථ විස්තරය
මෙම දේශනාව ඉතා වැදගත්ය. අප තුළ අකුසල ධර්ම වර්ධනය වන්නේ, සද්ධා, හිරි, ඔතප්, වීර්ය, ප්‍රඥා යන කුසල ධර්මයන් සිත තුළ නොමැති අවස්ථාවලදී බව මෙම දේශනාවේ පැහැදිලිව දක්වා තිබේ.
සද්ධා ආදී සේක බල ධර්ම යම් කලෙක අතුරුදහන් වෙයිද, එම අවස්ථාවේදී අපගේ සිත අකුසලයන්ට නැඹුරු වන බව මෙම දේශනාවේදී උගන්වයි. එබැවින් ඉතා උනන්දුවෙන් යුතුව, උත්සාහයෙන් යුතුව සද්ධා ආදී සේක බල ධර්මයන් ආරක්ෂා කරගත යුතුය, රැකගත යුතුය. තම රැකියාව නිසා හෝ ජීවිතය නිසා හෝ මුදලක් නිසා හෝ මෙම ගුණධර්ම විනාශ කර ගැනීම සිදුනොකළ යුතුයි.
තමාගේ සිතෙහි ඇතිවන රාග ආදී හැඟීම්වලට වසඟ වී සද්ධා ආදී ගුණධර්ම විනාශ කරගෙන, පවට ඇති ලැජ්ජා බය නැති කරගෙන අකුසලයන්ට පත්වීම සිදුවිය හැකිය. එසේ නොවීම සඳහා ඔබ නිතර නිතර උත්සාහ කළයුතුයි.