අජිත නම් වූ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න සහ බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නවලට ලබා දුන්නා වූ පිළිතුරු මෙම සූත්‍රයෙහි ඇතුළත් වෙයි. අජිත යනු ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණි ඉතා උගත් බ්‍රාහ්මණ පඬිවරයෙකි. එතුමා බුදුරජාණන් වහන්සේගෙන් පළමුවෙන්ම මෙසේ විමසයි:
කෙනස‍්සු නිවුතො ලොකො (ඉච‍්චා යස‍්මා අජිතො)
කෙනස‍්සු නප‍්පකාසතී,
කිස‍්සාභිලෙපනං බ්‍රූසි කිංසු තස‍්ස සහබ‍්භයං.
"කේනස්සු නිව්තෝ ලෝකෝ?" - ලෝකය කුමකින් වැසුණේද?
"කේනස්සු නප්පකාසති?" - කුමක් නිසා නොපෙනේද හෙවත් ප්‍රකට නොවේද?
"කිස්සාභිලේපනං බ්‍රූසි?" - ඇලෙන මැලියම (ගම්) කුමක්ද?
"කිංසු තස්ස මහබ්භයං?" - ඔහුට ඇති මහත් වූ භය කුමක්ද?
බුදුරජාණන් වහන්සේ අජිත මානවක ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් සේක:
අවිජ‍්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා)
වෙවිච‍්ඡා පමාදා නප‍්පකාසති,
ජප‍්පාභිලෙපනං බ්‍රූමි දුක‍්ඛමස‍්ස මහබ‍්භයං.
"අවිජ්ජාය නිව්තෝ ලෝකෝ" - ලෝකය අවිද්‍යාවෙන් වැසුණේය.
"වේවිච්ඡා පමාදා නප්පකාසති" - මසුරුකම හේතු කරගෙනද, ප්‍රමාදය හේතු කරගෙනද, ප්‍රකට නොවෙයි.
"ජප්පාභිලේප නම් බ්‍රෑමි" - තණ්හාව වඳුරන් අලවන මැලියම බඳු වේ යැයි කියමි.
"දුක්ඛමස්ස මහබ්භයං" - ඔහුට ඇති ලොකුම බය දුකයි.
ගාථා විස්තරය
ලෝකය අවිද්‍යාවෙන් වැසී ඇත. ලෝකය යනු බොහෝ අර්ථවල යෙදෙන වචනයකි. මෙම ගාථාවේදී ලෝකය යනුවෙන් හඳුන්වන්නේ ස්කන්ධ පංචකයයි. ඛන්ධ ලෝකයයි හෙවත් ආත්මභාවයයි. ආත්මභාවය නම් වූ ජීවිතය නම් වූ ලෝකය අවිද්‍යාවෙන් වැසී පවතී.
අවිද්‍යාව යනු දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි. දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම අවිද්‍යාවයි. මෝහය යනුද මෙයයි. මෙම මෝහය නිසා සත්වයාට යථාර්ථය වැසී තිබේ. කුසලය කුමක්දැයි නිසියාකාරව නොවැටහෙයි, අකුසලය කුමක්දැයි නිසියාකාරව නොවැටහෙයි. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් වැටහෙන්නේ නැත, දුක් දේ දුක් දෙයක් වශයෙන් වැටහෙන්නේ නැත, අනාත්ම වූ දෙය අනාත්ම වූ දෙයක් වශයෙන් වැටහෙන්නේ නැත, අසුභ වූ දෙය අසුභ වූ දෙයක් වශයෙන් වැටහෙන්නේ නැත.
පංච උපාදානස්කන්ධය දුකක් ලෙස වැටහෙන්නේ නැත. දුකහට ගැනීමට හේතුව තණ්හාව බව වැටහෙන්නේ නැත. දුක නැති කිරීම නිර්වාණය බව වැටහෙන්නේ නැත. එම දුක නැති කරන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය බව වැටහෙන්නේ නැත. මෙසේ සත්ත්වයා අවිද්‍යාවෙන් වැසී සිටියි.
මසුරුකම හා ප්‍රමාදය
මසුරුකමත් ප්‍රමාදයත් නිසා ප්‍රකට නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
මසුරුකම යනු තමා සතු වස්තුව අන් අයට ලබා දීමට ඇති අකමැත්තයි. මසුරුකම ඇති තැනැත්තා වස්තුව සඟවනු ලැබේ. සාමාන්‍ය මසුරුකම ඇති තැනැත්තා තමා වෙනුවෙන් වියදම් කරයි. අන් අය වෙත පරිත්‍යාග නොකරයි. දැඩි මසුරු තැනැත්තා තමාද නිසියාකාරව ආහාරපාන අනුභව නොකරයි. මසුරු සිටානන් සේ ජීවත් වෙයි. තමා සතු වස්තුව වෙන කෙනෙක් පරිභෝග කරනවාට ඇති අකමැත්ත මසුරුකමයි. බොහෝ දෙනෙකු සිතන්නේ මෙය ලෝභය හා සම්බන්ධ වූ ක්ලේශයක් යනුවෙනි. එහෙත් මෙය ලෝභය හා සම්බන්ධ වූ ක්ලේශයක් නොවේ. අභිධර්මයට අනුව මසුරුකම ද්වේෂයට අයත්ය. මසුරුකම නිසා දන් දීම ප්‍රකට නොවෙයි. එය දන් දීමට ඇති මහත් වූ බාධාවකි.
ප්‍රමාදය යනු සති අවිප්පවාසයෙන් තොර බවයි. හෙවත් සිහියෙන් තොරව වාසය කිරීමයි. සිහියෙන් තොරවීම හේතු කරගෙන සීල, භාවනා යන කුසල ධර්මයන් සිදුකිරීමට ඇති අවස්ථාව අහිමි වී යයි. එබැවින් ප්‍රමාදය නිසා සීල, භාවනා ආදී කුසල කර්ම ඔහු තුළ ප්‍රකට නොවෙයි.
තණ්හා ලේපය
"ජප්පාභිලේපනං බ්‍රෑමී" යනුවෙන් සත්ත්වයා ඇලී පවතින යමක හෙවත් ලේපයක් නම් තණ්හාව බව දේශනා කළ සේක. පුරාතනයේ සිටි වැදි ජනතාව වඳුරන් මරා ආහාරයට ගත්හ. ඔවුන් ලොකු මැලියම් ගොඩක් ගසක අලවා තබයි. වඳුරා එතනට පැමිණ කුමක්දැයි කියා පරීක්ෂා කිරීම සඳහා එහි අත තබයි. එවිට එම අත මැලියමෙහි ඇලෙයි. ඒ අත ගලවා ගැනීම සඳහා අනෙක් අත තබයි. එයද ඇලෙයි. අත් දෙක ගලවා ගැනීම සඳහා පාදයක් තබයි. පාදයද ඇලෙයි. ඊළඟ පාදය තබා ගැලවී යාමට උත්සාහ කරයි. ඒ පාදයත් ඇලෙයි. ඔය ආකාරයට බඩ තබා උත්සාහ කරන විට බඩද, ඔලුව තබා උත්සාහ කරන විට ඔලුවද ඇලෙයි. තණ්හාවද එබඳු ඇලෙන සුළු ආලේපයක් හෙවත් මැලියමක් බඳුය. වඳුරෙකු ගලවා ගත නොහැකි සේ මැලියමක ඇලී සිටින්නාත් මෙන් සත්වයෝ රූපයෙහි ඇලී සිටිති. ශබ්දයෙහි ඇලී සිටිති. රසයෙහි ඇලී සිටිති. ස්පර්ශයෙහි ඇලී සිටිති. සිතුවිලිවල ඇලී සිටිති. කාමරාගය හෙවත් පංචකාම වස්තුන් කෙරෙහි ඇති කැමැත්තෙන් අරමුණුවල ඇලෙන විට කාම තණ්හාව හටගනී. අරමුණු නිත්‍යයි, ස්ථිරයි, සදාකාලිකයි ආදී අදහස්වලින් ඇලෙන විට භව තණ්හාව හටගනී. අරමුණු සිඳෙන්නේය, නැසෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවන්නේය යන උච්ඡේද සහගත අදහසින් ඇලෙන විට විභව තණ්හාව හටගනී.
අන්තෝජටා බහිජටා ජටාය ජටිතා පජා" (ජටා සූත්‍රය - සංයුත්ත නිකාය)
ඇතුළතත් ගැටය, පිටතත් ගැටය, සත්ත්වයා ගැටවලින් වෙලුණේය. යනුවෙන් පැහැදිලි කරන ලද්දේ ද මේ තණ්හා අවුලයි.
දුක බයකි
"දුක්ඛමස්ස මහබ්භයං" යනුවෙන් ඔහුට ඇති මහත් වූ භය දුක බව දේශනා කළ සේක.
දුක යනු ජාති දුක, ජරා දුක, ව්‍යාධි, මරණය, අප්පියෙහි සම්පයෝගෝ, පියෙහි විප්පයෝගෝ, යම්පිච්චං නලභති, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන මහා දුක් සමූහයයි. කෙටියෙන්ම කිවහොත් පංච උපාදානස්කන්ධය දුකකි. එය සත්ත්වයාට මහත් වූ බයකි.
සූත්‍ර විස්තරය
නැවතත් අජිත තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් තවත් ප්‍රශ්න කීපයක් විමසයි.
සවන‍්ති සබ‍්බධි සොතා (ඉච‍්චා යස‍්මා අජිතො)
සොතානං කිං නිවාරණං
සොතානං සංවරං බ්‍රූහි කෙන සොතා පිථියරෙ
"සවන්ති සබ්බධී සෝතා" - සෑම කාලයකම රූපාදී ආයතනයන්හි තණ්හාව නැමැති මහත් වූ සැඩ දියපහර ගලාගෙන යයි.
"සෝතානං කිං නිවාරණං" - මෙම සැඩපහර නවත්වන්නේ කුමකින්ද? (රකින්නේ කුමකින්ද, ගලායාම නවත්වන්නේ කුමකින්ද යනුවෙන් අසයි.)
"සෝතානං සංවරං බ්‍රූහි" - සැඩ පහරෙහි නැවැත්වීම නම් වූ සංවරය දේශනා කරනු මැනවි.
"කේන සෝතා පිථීයරේ" - මේ සැඩ පහර ඉතුරුවක් නැතුව (සම්පූර්ණයෙන්ම) වසා දමන්නේ කෙසේද?
අජිත තරුණයා විසින් විමසන ලද එම ප්‍රශ්න හතරටද බුදුරජාණන් වහන්සේ පිළිතුරු දේශනා කළහ. ඒ මෙසේය:
යානි සොතානි ලොකස‍්මිං (අජිතාති භගවා)
සති තෙසං නිවාරණං,
සොතානං සංවරං බ්‍රූමි පඤ‍්ඤායෙතෙ පිථියරෙ
"යානි සෝතානි ලෝකස්මිං, සති තේසං නිවාරණං"
ලෝකයෙහි යම් සැඩ පහරක් වේ නම්, සතිය හෙවත් සිහිය ඔවුන්ට ආවරණයයි.
"සෝතානං සංවරං බ්‍රෑමි"
ඒ සතිය සැඩ පහරෙහි සංවරය හෙවත් නැවැත්වීම යැයි කියනු ලැබේ.
"පඤ්ඤායේ තේ පිථීයරේ"
විදර්ශනාව හා යෙදුණු මාර්ග ප්‍රඥාවෙන් එම සැඩ පහර වසා දමනු ලැබේ.
ගාථා විස්තරය
සෝත යනු වේගයෙන් පහළට ගලාගෙන යන මහත් වූ ජල පහරකට නමකි. මෙහිදී සෝතයට උපමා කර ඇත්තේ තණ්හා ආදී කෙලෙස්ය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ආදී බාහිර ආයතන මුල් කරගෙන තණ්හා සෝතය හෙවත් තණ්හා සැඩ පහරක් ගලාගෙන යන බව අජිත තරුණයා පවසයි. මෙම සැඩ පහරක් වසා දමන්නේ, නවත්වන්නේ කෙසේද යනුවෙන්ද අසයි. මෙම සැඩ පහර නැවැත්වීම නම් වූ සංවරය ගැනද විමසයි. එහි සංවරය යනු සැඩ පහර නැවැත්වීමයි, පාලනය කර ගැනීමයි. සැඩ පහර සම්පූර්ණයෙන්ම නවත්වන්නේ කෙසේද යනුවෙන් අසයි.
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නවලට පිළිතුරු දේශනා කළ සේක. මේ ලෝකයෙහි පවතින තණ්හාව ආදී කෙලෙස් සැඩ පහරවල් නැවැත්වීම සිහියෙන් කළ හැකි බව උන්වහන්සේ දේශනා කළහ. ඇස මුල් කරගෙන සිහිය පවත්වන්නේ නම්, රූප මුල්වී හටගන්නා වූ තණ්හා, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සැඩ පහර නැවැත්විය හැකිය. කන මුල් කරගෙන සිහිය පවත්වන්නේ නම්, ශබ්දය මුල් වී උපදින තණ්හා, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සැඩ පහරවල් නවත්වා ගත හැකිය. නාසය මුල් කරගෙන සිහිය පවත්වන්නේ නම්, ගන්ධය මුල් කරගෙන ඇතිවන තණ්හා, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සැඩ පහරවල් නැවැත්විය හැකිය. දිව මුල් කරගෙන සිහිය පවත්වන්නේ නම්, රසය මුල්කරගෙන උපදින තණ්හා, ද්වේෂ, මෝහ ආදී සැඩ පහරවල් නැවැත්විය හැකිය. කය මුල් කරගෙන සිහිය පවත්වන්නේ නම්, ස්පර්ශය මුල් කරගෙන හටගන්නා කෙලෙස් සැඩ පහර නැවැත්විය හැකිය. මනස මුල් කරගෙන සිහිය පවත්වන්නේ නම් අරමුණු මුල් කරගෙන උපදින කෙලෙස් සැඩ පහර නැවැත්විය හැකිය. එබැවින් සිහිය යොදාගෙන කෙලෙස් නම් වූ සැඩ පහර නැවැත්විය හැකි බව, පාලනය කළ හැකි බව බුදුරජාණන් වහන්සේ අජිත තරුණයාට දේශනා කළ සේක. මෙහිදී සතිය යනුවෙන් දක්වා ඇත්තේ, කුසල අකුසල ධර්මයන්ගේ ස්වභාවය නුවණින් විමසන්නා වූ සිහියයි. එම සිහිය මුල් කරගෙන කෙලෙස් ගංගා ගලායාම නැවැත්විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
"සෝතානං සංවරං බ්‍රෑමි" යනුවෙන් ඉහත සඳහන් කරන ලද සිහියම, කෙලෙස් සැඩ පහරක් සංවර කර ගැනීමට උපකාර වන බව දේශනා කළහ. සංවර කර ගැනීම යනු පාලනය කර ගැනීමයි, නවත්වා ගැනීමයි.
ප්‍රඥාවෙන් වැසීම
"පඤ්ඤායේ තේ පිථීයරේ" - ප්‍රඥාවෙන් සැඩ පහර සම්පූර්ණයෙන්ම වසා දැමිය හැකි බව තථාගතයන් වහන්සේ දේශනා කළහ. රූපාදී ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන්ම නුවණින් විමසීම මෙහි ප්‍රඥා නමින් හඳුන්වනු ලබයි. විදර්ශනාව හා යෙදුණු මාර්ග ප්‍රඥාව එයයි. ප්‍රඥාවෙන් සැඩ පහර සම්පූර්ණයෙන්ම වසා දැමිය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
අජිත මානවකගේ ප්‍රශ්නය සහ පිළිතුර
අජිත නම් වූ තරුණයා නැවතත් මෙසේ විමසයි:
"පඤ්ඤා චේව සති චේව,
නාම රූපඤ්ච මාරිස;
ඒතං මේ පුට්ඨෝ පබ්‍රෑහි,
කත්ථේතං උපරුජ්ඣති."
"නිදුකාණන් වහන්සේ, ප්‍රඥාවද, සතියද, නාම රූප ධර්මයන්ද යන මේ සියල්ල නිරුද්ධ වන්නේ කොහේද? මා විසින් ඔබ වහන්සේගෙන් ඒ ගැන අසමි. ඒ කාරණාව මට දේශනා කරනු මැනවි."
තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කළහ:
"යමේතං පඤ්හං අපුච්ඡි,
අජිතං තං වදාමි තේ;
යත්ථ නාමඤ්ච රූපඤ්ච, අසේසං උපරුජ්ඣති;
විඤ්ඤාණස්ස නිරෝධේන, එත්ථේතං උපරුජ්ඣතී."
ගාථාවේ අර්ථය සරලව:
"අජිත, ඔබ මාගෙන් කුමන ප්‍රශ්නයක් ඇසුවේද, ඒ පිළිබඳව මම ඔබට පවසන්නෙමි. එනම්, යම් තැනක නාමය හා රූපය ඉතිරි නොකොට (අසේසං) නිරුද්ධ වේද, විඤ්ඤාණය නිරුද්ධ වීමෙන්, ඒ විඤ්ඤාණ නිරෝධය තුළම ඒ නාමරූප නිරුද්ධ වෙයි."
ගාථා විස්තරය
අජිත නම් වූ තරුණයා විසින් "ප්‍රඥාවත්, සිහියත්, නාම රූප යන ධර්මයෙනුත් නිරුද්ධ වන්නේ කොතනද?" කියා විමසීය. එහෙත් ප්‍රඥා නිරෝධයක් හෝ සති නිරෝධයක් ගැන බුදු දහමේ කියන්නේ නැත. බුදුරජාණන් වහන්සේ නාම රූප නිරුද්ධ වන තැන පිළිබඳව පැහැදිලි කරමින් පිළිතුරු ලබා දුන් සේක.
නාම ධර්මත්, රූප ධර්මත් විඤ්ඤාණ නිරෝධය තුළට පැමිණ නිරුද්ධ වන බව දේශනා කළහ. නාම රූප ධර්මයන් විඤ්ඤාණ නිරෝධය ඉක්මවා නොයන බව පැහැදිලි කළහ. නාම රූප ධර්මයන්ගේ හට ගැනීමට හේතුව විඤ්ඤාණයයි. හේතුව දුරු කළ විට ඵලය දුරු වී යයි. එබැවින් විඤ්ඤාණය නිරුද්ධ කළ විට නාමරූප ධර්මයන්ද නිරුද්ධ වෙයි.
නාම යනු වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සතර නාමස්කන්ධය යන්න සඳහන් වුවද, පටිච්චසමුප්පාද විස්තරයේදී නාමරූප විග්‍රහය මීට වඩා මදක් වෙනස්ය. එහි නාම ධර්ම කොටසට විඤ්ඤාණය අයත් නොවේ. එයට හේතුව වන්නේ විඤ්ඤාණය නිසා නාමරූප හටගන්නා බව දේශනාවේ සඳහන් වන බැවිනි. පටිච්චසමුප්පාදයට අනුව නාම යනු වේදනා, සංඥා, සංඛාර යන ස්කන්ධ තුනයි. වේදනා යනු අරමුණක රසය විඳිනා චෛතසික ධර්මයයි. සංඥාව යනු අරමුණ හඳුනාගන්නා චෛතසිකයයි. සංඛාර යනු සෙසු චෛතසික පනහයි. රූප යනු සතර මහා ධාතු සහ අටවිසි රූපයන්ය.
මෙම නාම රූප ධර්මය නිසා විඤ්ඤාණය හටගනී. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප ධර්ම නිරුද්ධ වෙයි.
සූත්‍ර විස්තරය
අජිත මානවකයා නැවතත් මෙසේ විමසයි:
"යේ ච සංඛාත ධම්මාසේ,
යේ ච සේඛා පුථූ ඉධ;
තේසං මේ නිපකෝ ඉරියං,
පුට්ඨෝ පබ්‍රෑහි මාරිස."
සංඛාත ධම්ම: යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසා අරිහත්වයට පත් රහතන් වහන්සේලාය. උන්වහන්සේලාගේද, සේඛ පුද්ගලයන්ගේද (සේඛ යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පුහුණුවන අයයි; රහතන් වහන්සේලා හැර සෙසු ආර්ය පුද්ගලයෝ සේඛ නම් වෙති) එම සේඛ පුද්ගලයන්ගේද පිළිවෙත හෙවත් ප්‍රතිපත්තිය දේශනා කරනු මැනවි.
මෙහිදී අජිත බ්‍රාහ්මණ තරුණයා රහතන් වහන්සේලාගේ සහ සෙසු ආර්ය පුද්ගලයන්ගේ පිළිවෙත හෙවත් ප්‍රතිපත්තිය කුමක්දැයි විමසා සිටින්නේය. එවිට බුදුරජාණන් වහන්සේ සේඛ - අසේඛ පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති මාර්ගය පැහැදිලි කරමින් මෙසේ දේශනා කළහ:
"කාමේසු නාභිගිජ්ඣෙය්‍ය, මනසා නාවිලෝසියා;
කුසලෝ සබ්බධම්මානං, සතෝ භික්ඛු පරිබ්බජෙ."
කාමයෙහි ගිජු නොවන්නේය. මනසින් නොකැළඹුණු කෙනෙක් වන්නේය. භික්ෂුව සියලු ධර්මයන්හි දක්ෂ වූයේ, සිහියෙන් හැසිරෙන්නේය.
ගාථා විස්තරය
අවසාන ගාථාවේ පළමුවන පේළි දෙකෙන් කාමච්ඡන්ද ආදී සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම පිළිබඳව ඇති සේඛ ප්‍රතිපදාව දේශනා කළ සේක.
"මනසා නාවිලෝසියා" යනුවෙන් මනසින් නොකැළඹුණු කෙනෙක් වන්නේය යනුවෙන් දේශනා කළහ. එහි අර්ථය මනසින් කාය දුෂ්චරිතාදී සියල්ල දුරු කරන ලද බවයි.
"කුසලෝ සබ්බ ධම්මේසු" - අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා ආදී නිර්වාණ මාර්ගයට අවශ්‍ය සෑම කුසලයක් කෙරෙහිම ඉතාම දක්ෂය යනු එහි අර්ථයයි.
අජිත සූත්‍රය අවසානයි.