පොත් ලැයිස්තුව

ආතප්ප සූත්‍රය හෙවත් මූල සූත්‍රය.

star_outline

අංගුත්තර තික නිපාතය. චූල වර්ගය.

10 සූත්‍රය.

බුද්ධ ජයන්ති පිටු. 276

තීහි භික්ඛවෙ ඨානෙහි ආතප්පං කරණීයං. කතමෙහි තීහි: අනුප්පන්නානං පාපකානං අකුසලානං ధම්මානං අනුප්පාදාය ආතප්පං කරණීයං. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ආතප්පං කරණීයං. උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසනාය ආතප්පං කරණීයං. ඉමෙහි තීහි භික්ඛවෙ ඨානෙහි ආතප්පං කරණීයං.

​මහණෙනි, කරුණු තුනකින් වීර්යය කළ යුතුයි. කවර තුනකින් ද යත්: නූපන්නා වූ ලාමක අකුසල ධර්මයන් නූපදවීම පිණිස වීර්යය කළ යුතුයි. නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස වීර්යය කළ යුතුයි. උපන්නා වූ දුක් වූ, තියුණු වූ, ගොරෝසු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ජීවිතය නැති කරන්නා වූ සාරීරික වේදනාවන් ඉවසීම පිණිස වීර්යය කළ යුතුයි. මහණෙනි, මෙම කරුණු තුනෙහි වීර්යය කළ යුතුයි.

යතො ඛො භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ආතප්පං කරොති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ආතප්පං කරොති, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසනාය ආතප්පං කරොති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ආතාපී නිපකො සතො සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති.

​මහණෙනි, යම් කලෙකින් පටන් භික්ෂුව නූපන්නා වූ පාපක අකුසල ධර්මයන් නූපදවීම පිණිස වීර්යය කරයි නම්, නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස වීර්යය කරයි නම්, උපන්නා වූ දුක් වූ, තියුණු වූ, ගොරෝසු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, ජීවිතය නසන්නා වූ සාරීරික වේදනාවන් ඉවසීම පිණිස වීර්යය කරයි නම්, මහණෙනි, මේ භික්ෂුව "ආතාපී" හෙවත් කෙලෙස් තවන වීර්යයෙන් යුතු කෙනෙකි, "නිපකෝ" හෙවත් පාරිහාරිය ප්‍රඥාවෙන් යුතු කෙනෙකි, "සතෝ" හෙවත් සිහියෙන් යුතු කෙනෙකි, මනාකොට දුක් ගෙවා දැමීම පිණිස පිළිවෙත් පුරන කෙනෙකි යනුයෙන් කියනු ලැබේ.

ධර්මාර්ථ විස්තරය.

​චූල වර්ගයෙහි දහවන සූත්‍රය වන මෙය, සංගීතිකාරක තෙරුන් වහන්සේලා විසින් "ආතප්ප සූත්‍රය" නමින් නම් කර ඇත. මූල සූත්‍රය යන නමක් ද මෙයට භාවිතා වන බව කියයි. මෙම දේශනාවේදී ත්‍රිවිධාකාර වූ වීර්යයක් පිළිබඳව දේශනා කරයි. නූපන්නා වූ අකුසල ධර්මයන් යනු, ලෝභ, දෝස, මෝහ යන මේ මොහොතේ ක්‍රියාත්මක ව නොපවතින අකුසල මූලයන්ය. "ලෝභෝ අකුසල මූලං, ලෝභෝ අකුසලං" යන දේශනාවට අනුව ලෝභය අකුසලයකි, එසේම ලෝභය අකුසල මූලයකි. මේ මොහොතේ ක්‍රියාත්මක ව නොපවතින ලෝභ, දෝස, මෝහ යන අකුසලයන්ද, එම අකුසල මූලයන්ද, නූපන්නා වූ අකුසල් යනුවෙන් හඳුන්වනු ලබයි. ඒවා දුරු කිරීම පිණිස වීර්යය කළ යුතුය. නූපන්නා වූ කුසල ධර්මයන් යනු, අලෝභ, අදෝස, අමෝහ ආදී කුසල මූලයන්ය. එසේම සමථ විදර්ශනා භාවනා ඥානයන්ය, බෝධි පාක්ෂික ධර්මයෝ ය. දැනට නොපවතින එම ධර්ම ඇති කර ගැනීම සඳහා වීර්යය කිරීම සුදුසුය. ශරීරය තුළ හටගන්නා වූ ඉතා දරුණු වේදනාවන් ඉවසීම පිණිස ද වීර්යය කළ යුතුය.

වීරස්ස භාවෝ විරියං - වීරයාගේ ස්වභාවය වීර්යයයි. වීරානං වා කම්මං විරියං - වීරයාගේ ක්‍රියාව වීර්යයයි. නොයෙක් ක්‍රමයෙන්, නොයෙක් ආකාරයෙන් පැවැත්විය යුතු දෙයද වීර්ය නම් වෙයි. (අත්ථසාලිනී නාම ධම්ම සංගණී අට්ඨකථා)

​දිරා ගියා වූ ගෙයක් කඩා වැටීමට ආසන්නව තිබෙන අවස්ථාවකදී, අලුතෙන් ආධාරක කණු ලබාදී, බිඳ වැටීමට නොදී ආරක්ෂා කර ගත හැකිය. එසේම යෝගාවචරයා විසින්ද, නොයෙක් ආකාරයෙන් වීර්යය කරමින්, කුසල ධර්මයන් පිරිහීමට නොදී ආරක්ෂා කර ගත හැකිය. එබැවින් වීර්යය උපස්තම්භක ලක්ෂණයෙන් යුක්තය. වීර්යයෙන් උපස්තම්භය ලැබීමෙන් හෙවත් වීර්යයෙන් උපකාර ලැබීමෙන්, කුසල ධර්මයෝ විනාශ නොවෙති, පිරිහීමට පත් නොවෙති.

​රජ කෙනෙකුට කුඩා හමුදා සේනාවක්ද, මහත් හමුදා සේනාවක්ද සිටිති. පළමුවෙන්ම සතුරු සේනාව සමඟ සටන් කිරීමට කුඩා හමුදා සේනාව යොදවයි. එම සේනාවට සටනක් කරගෙන යාම අපහසු වන්නේ නම්, මහත් වූ හමුදා සේනාව යොදවයි. එම විශාල වූ හමුදා සේනාව සතුරු සේනාවට පහර දී පලවා හරියයි. එමෙන්ම වීර්යය පග්ගහන ලක්ෂණයෙන් යුක්තය. පළමුවෙන්ම ආරම්භ කරන ලද වීර්යය, ආරම්භක ධාතු යන නමින් ද, බලවත් ලෙස නැවත යොදන වීර්යය නික්කම ධාතු නමින් ද, බලවත් වීර්යය නැවත නැවත කිරීම පරාක්‍රම ධාතු යන නමින් ද හඳුන්වනු ලබයි.

අත්ථසාලිනී අභිධර්ම අටුවාව ඇසුරෙන් ලියන ලදී.